අරගලේ කාලේ විනාශ වුණ ගෙවල්වලට හිලව් වෙන්න මන්ත්‍රීන්ට අඩුවට දෙන්න ගිය නිවෙස් සහන අහෝසියි
වියත්පුර නිවාස යෝජනා ක්‍රමයෙන් මන්ත්‍රීවරුන්ට නිවාස මිලදී ගැනීමේදී ලබා දෙන සහනය වහාම ක්‍රියාත්මක වන ලෙස අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව 2022-05-09 දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේන් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101 ක් කුලී පදනම මත එක් වසරක කාලයකට ලබා දීමට 2022-07-04 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වී තිබුණා.
පසුව එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණේ නිවාස සහනදායී ක්‍රම වේදයක් යටතේ මිල දී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන මෙන් ය.
එබැවින් රුපියල් මිලියන 15.5ක අවම වටිනාකමකට සහ රුපියල් මිලියන 22 ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රුපියල් මිලියන 13.34 ක් වශයෙන් සහ උපරිම වටිනාකම රුපියල් මිලියන 18.21 ක් වශයෙන් අඩු කර සහනදායී ක්‍රම වේදය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමටත්, විකුණුම් මිලෙන් 25% මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොළී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අය කර ගැනීමටත් 2024-07-15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.
මෙම ක්‍රමවේදය අනුව නිවාස මිල දී ගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකු 2024-12-31 දින වන විට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කර තිබුණ ද මෙම සහනදායී ක්‍රම වේදය නිසා නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 92.126ක පමණ පාඩුවක් විඳීමට සිදුව තිබෙන නිසා දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී ඇත.
මේ නිසා අනුමත කර ඇති සහනදායී ක්‍රම වේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය මහජනතාවට එම නිවාස ලබා ගැනීමට වන ක්‍රමවේදය සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිල දී ගැනීමට අවස්ථාව ලබා දීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයෙන් මෙසේ අනුමත කර ඇත.