මෙරට කිතුනුවන්ගේ ඉවසීම සහ බලාපොරොත්තුව ජනපති අනුරයි... 21 බලමු

Report

එළැඹෙන අප්‍රේල් මස 21 වැනිදාට පෙර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුතු කණ්ඩායමක් පිළිබඳ හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට කිතුනු ප්‍රජාව දැඩි විශ්වාසයක් තබා සිටින බව අතිඋතුම් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා  පැවසූහ.

ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළ පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මස 21 වැනිදාට පෙර මෙම සිද්ධියට වගකිවයුත්තන්ගෙන් යම් ප්‍රමාණයක් හෙළිදරව් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එය ඉතා හොඳ ප්‍රවණතාවක් බවත් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළහ. මෙහිදී සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් මෙසේ ද පැවසූහ.

AI සහ chatGPT වලට එරෙහිව නඩු...ශාපයක් බවට ප්‍රකාශයක්

AI සහ chatGPT වලට එරෙහිව නඩු...ශාපයක් බවට ප්‍රකාශයක්

“අපි බලාපොරොත්තු වුණේ මේ පාස්කු ප්‍රහාරය පිටුපස තිබෙන සත්‍ය අනාවරණය කිරීමයි. හිටපු නීතිපති දප්පුලද ලිවේරා මේ සිද්ධිය පිටුපස මහා කුමන්ත්‍රණයක් තිබෙන බව කිව්වා. පසුව පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සහ පාර්ලිමේන්තු තේරීම් කමිටු හැම එකේම වාර්තා දිහා බැලුවම කුමන්ත්‍රණයක් මේ පිටුපස තිබෙනව කියන කාරණාව පේන්න තියෙනවා. ඒ පිළිබඳ නිශ්චිත පිළිවෙළට විමර්ශනයක් කිරීම අවශ්‍යයි.”

“ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව ආවට පස්සේ අද දක්වා ආපු තවත් අලුත් තොරතුරු තියෙනවා. ජනාධිපති කොමිෂන් සභාවෙත් ඇතැම් පැහැදිලි නැති අඳුරු තැන් තියෙනවා. එම වාර්තාවේම තියෙනවා සමහර තැන් විමර්ශනය කිරීම වැදගත් කියන දේ. ඒවා තවදුරටත් විමර්ශනය කළ යුතුයි කියලා එම වාර්තාව නිර්දේශ කරනවා. මේ හැම දෙයක්ම හරියට පිළිවෙළට විමර්ශනය කිරීම අවශ්‍යයි.”

“පාස්කු ප්‍රහාරය එල්ල වී අදට අවුරුදු හයක් වෙනවා. මේ අවුරුදු හයෙන් අවුරුදු පහකටත් වැඩි කාලයක් මේ විමර්ශන කිසිම ආකාරයකින් සිද්ධ වුණේ නැහැ. සම්පූර්ණයෙන්ම නැවතිලා තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ දින සිට පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්පූර්ණයෙන්ම නැවතී තිබුණා. සී.අයි.ඩී. එකේ අය මාරු කළා. ඒ අය රිමාන්ඩ් බන්ධනාගාරගත කළා. නඩු දැම්මා. මේ කාරණා එක්ක විමර්ශන නතර වුණා.”

ශ්‍රී ලංකාවේ කච්චතිව් දුපත යලිත් ඉන්දියාවට...? යෝජනාව සමතයි

ශ්‍රී ලංකාවේ කච්චතිව් දුපත යලිත් ඉන්දියාවට...? යෝජනාව සමතයි

“වත්මන් ආණ්ඩුව ආවට පස්සේ විමර්ශන කණ්ඩායම් මඟින් නැවත පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන ආරම්භ කළා. මාස හයක් වැනි කෙටි කාලයක් ගිහිල්ලා තියෙන්නේ. අවුරුදු පහක් නැවතිලා තිබිච්ච විමර්ශන කටයුතු ඊට වඩා හොඳින් ආරම්භ වෙලා තියෙනවා.

චැනල් 4 තොරතුරු වගේ විශාල කරුණු ප්‍රමාණයක් නැවත විමර්ශන කරන්න ආරම්භ කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන හරි පිළිවෙළට ගැඹුරින් කරන බව අපිට තේරෙනවා. ඒ සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපි කියන්නෙ නැහැ දඩිබිඩි ගාලා හැම දෙයක්ම ඉවර කරන්න පුළුවන් කියලා. මේක දිගටම විමර්ශනය කරලා ඉවර කිරීම අත්‍යවශ්‍යයි. සත්‍ය අනාවරණය කිරීම අනිවාර්යයි.

මරණයට පත් වූ අයට සහ ඒ පවුල්වල අයට විතරක් නෙවෙයි මෙය ජාතික වශයෙන් වැදගත් දෙයක්. මේ වගේ දරුණු මනුෂ්‍ය ඝාතනයක් සිදු වුණේ ඇයි කියන එක හොයාගන්න ඕනෑ. ඒක පිටිපස්සේ කවුද හිටියේ කියලා හොයාගන්න ඕනෑ.”

“යම්කිසි වරදක් අපරාධයක් සිදු කළොත් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ සත්‍ය හොයාගෙන ඔවුන්ව නීතිය හමුවට පමුණුවනවා කියන විශ්වාසය මිනිස්සුන්ට තියෙන්න ඕනෑ. ඒකයි සමාජයේ නීතිය ස්ථාපිත කිරීම කියලා කියන්නේ. ඒක සිද්ධ වුණොත් සමාජය තුළ නීතිය පිළිබඳ තිබෙන ගෞරවය, බය ගොඩනැඟෙයි කියලා මම හිතනවා.” යැයිද සිරිල් ගාමිණි පියතුමන් අවධාරණය කළහ.