හෙට හවස් ඉඳන් දිවයිනටම මහ වැසි - පහළ වායුගෝලයේ දැවැන්ත කැළඹිල්ලක් - කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්
2026 ඔක්තෝබර් 19 වැනිදා පස්වරු 4.00ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව, ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් හෙට (20) සවස් කාලයේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
ඒ අනුව, දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. උතුරු, උතුරු මැද, මධ්යම සහ ඌව පළාත්වල මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ද ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.
මීට අමතරව, බස්නාහිර සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්රදේශවල මෙන්ම පුත්තලම දිස්ත්රික්කයේ ද උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ බලධාරීහු ඉල්ලා සිටිති.
එසේම, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය.