ඇහැළියගොඩට තද වැසි

Report

පසුගිය ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

 එය මි.මී 171ක් ලෙස සටහන් වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

  එමෙන්ම ඊයේ (21) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව ලැබී ඇති අතර සබරගමුව, මධ්‍යම හා නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි වාර්තා වී ඇති බවත් එතුමා සදහන් කර තිබේ.

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (22) පස්වරු 1.00න් පමණ පසුව, තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 මේ අතර ඇතැම් ස්ථානවලට අද දවසේදීත් මිලි මීටර් 100ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව සදහන් කර තිබේ .

මේ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සදහන් කළේ විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල තාවකාලික තද සුළංද ඇතිවිය හැකි බවයි.

    මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලද උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයකුත් පැවතිය හැකියි.

දිවයින වටා මුහුදු තීරය විශේෂයෙන්ම ගාල්ල සිට, මාතර, හම්බන්තොට, පොතුවිල්, ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද දවසේදී විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් ඔහු තව දුරටත් සදහන් කර තිබේ.

ඒ වගේම සෙසු මුහුදු ප්‍රදේශවලත් හවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද ඒ මහතා සදහන් කර ඇත.

  තවද දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං, ප්‍රධාන වශයෙන් වයඹ දෙසින් හමා එන බවත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 20ත් 30ත් අගයක පැවතිය හැකි බවත් වාර්තා වේ.

 කෙසේ වෙතත් මාතර සිට පොතුවිල්, ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40, 45ක වගේ අගයන් දක්වා වර්ධනය විය හැකි නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක රළු ස්වභාවයක් ඇති විය හැකි බවද සඳහන්ය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

''බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ අද දිනයේ නුවර ප්‍රදේශයට.විශේෂයෙන්ම පල්ලෙකැලේ පැවැත්වෙන මේ ලෝක කුසලාන තරගය සම්බන්ධයෙන්. දැනට අපිට පවතින නවතම දත්ත අනුව බැලුවොත් විශේෂයෙන්ම නුවර ආශ්‍රිතව හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතිනවා. ඉතින් තවදුරටත් අපිට කියන්න වෙන්නේ වැසි සඳහා වැඩි අවස්ථාවක් තියෙන බව. හෙටින් පස්සේ අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් වැසි අවම ස්වභාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.''