දන්සැල් දෙන අයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි නියෝගයක්
එළඹෙන වෙසක් පොහොය සහ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වෙන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව, සියලු දන්සැල් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස මට්ටමින් සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇත. ලියාපදිංචියේදී දන්සැල පවත්වන ස්ථානය, සංවිධායකයින්ගේ නම, ලිපිනය සහ දුරකථන අංකය වැනි මූලික තොරතුරු ලබාදිය යුතුය.
මාර්ගෝපදේශ අනුව, දන්සැල් සංවිධායකයින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ නිසි දැනුවත් කිරීමක් ලබා තිබිය යුතු අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන පරීක්ෂාවලදී 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බවට තහවුරු කළ යුතුය.
තවද, දන්සැල ආරම්භ කිරීමට පෙර සහ අවසන් වූ පසු ස්ථානය පරීක්ෂා කර පරිසර සෞඛ්‍යයට හානි නොවන බවට සහතික කිරීමත්, මුළු කාලය පුරාම නිසි කසළ කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍ය වේ.
ජලය භාවිතා කිරීමේදී හැකි සෑම අවස්ථාවකම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් සපයන ජලය භාවිතා කළ යුතු අතර, එසේ නොහැකි නම් ආරක්ෂිත ජල මූලාශ්‍ර භාවිතයට ගත යුතුය.
එමෙන්ම, ආහාර භුක්ති විඳින ස්ථානවල අත් සේදීම සඳහා ප්‍රමාණවත් ජල පහසුකම් සහ අත් පිරිසිදුකාරක තිබීමත් අනිවාර්ය වේ. දන්සැලේ ආහාර සකස් කිරීම සහ පාරිභෝජනය අතර කාලය පැය 4කට නොවැඩි විය යුතු බවද මෙම මාර්ගෝපදේශවල සඳහන් වේ.
මෙම නියමයන් අනුගමනය කිරීමෙන් දන්සැල් මඟින් මහජනතාවට ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාදීම සහතික කළ හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.