එයාට දරාගන්න බැරිවෙන්න ඇති..මාරයාගෙන් ඇයව බේරා ගැනීමට ගත් වෑයමෙන් ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහුත්, ඇය සොයා යන්නම ගිහින් [PHOTOS]
සමාජ මාධ්‍ය පුරාම කාලයක් කථාබහට ලක්වුණු එක් ආදර අන්දරයක් අද දින සදහටම සමු ගත්තේ එයටත් සමාජ මාධ්‍යයේ විවිධ සටහන් එකතු වෙද්දි.
ඒ අසේල චානක රාජපක්ෂගේ හදිසි වියෝවත් එක්ක.
අසේල සහ ඔහුගේ බිරිඳ හසිනි කියන්නේ ලංකාවම දන්න ලස්සන ආදර කථාවක හිමිකාරයෝ දෙන්නෙක්.
තමන්ගේ බිරිඳට ඇති පිළිකා රෝගී තත්ත්වයෙන් ඇයව කෙසේ හෝ සුව කිරීමට අසේල මුළු ජීවිතයම කැපකළ බව කිසිවෙකුට නොරහසක්.
එක් දවසක් හරි තමන්ගේ බිරිඳව වැඩියෙන් ජීවත් කරන්නට ඔහු දැරූ වෙහෙස සහ ඇයව සතුටින් තියන්නට ඔහු දැරූ වෙහෙස ඒ දවස්වල සමාජ මාධ්‍යයේ පවා දැඩි කතාබහට ලක්වුණා.
එහෙත් ඔහුව අසරණ කරමින් ඇය ජීවිතයට සමු දුන්නා. ඇය නැති ජීවිතයෙන් කවර ඵලක් ද යැයි සමහර විට ඔහුත් සිතන්න ඇති.
ඉතින් දරුණු රෝගයක් තිබියදීත් ඇයට මහා ශක්තියක් වූ ඔහු අද උදෑසන හදිසි හෘදයාබාධයක් නිසා ජීවිතයෙන් සමු ගෙන ඇත්තේ බොහෝ දෙනෙක් හඬවමින්.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය
ඔහු ගැන පළවෙන විවිධ සටහන් මැද ගායන ශිල්පී දයාන් විතාරණ මහතා ද සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.
එම සටහන පහතින්,
"අසේල චානක මල්ලි, ඔබට නිවන දුරක නොවේවා ................... මා මීට වසර 10'කට පමණ ප්‍රථමයෙන් මුහුණුපොත ඔස්සේ දැන හඳුනාගත් අසේල චානක රාජපක්ෂ, මුහුණුපොත හරහා මා හට 'මහ රහතුන් වැඩි මග ඔස්සේ' දම්දෙසුම් වැනි වටිනා බොහෝ ධර්ම කරුණු නිර්ලෝභීව සහ මහත් ඕනෑකමින් තිළිණ කළේය. එමෙන්ම ඔහු ගායකයෙක් ලෙස ද එකල නිකුත් කළ ගීතයක් මා වෙත ඔහු 2015 දී මුහුණුපොත ඔස්සේ ම එවන ලදී. ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනිව ද මහත් ගෞරව භක්තියෙන් සමීපව ඇසුරු කළ ඔහු ඇගේ ඡායාරූපය ද අවැසි විට මගෙන් ඉල්ලාගෙන ඇත. 2019 වසරේ අග භාගයේ දී පමණ ඔහු මා දුරකථනයෙන් අමතා තම සෙනෙහවන්ත බිරිඳ පිලිකා රෝගයෙන් පෙළෙන බවත්, ඇය ඉතා හොඳින් ගී ගයන බවත්, දැනට දීගොඩ කුමාරයන් යටතේ ආධ්‍යාත්මික ප්‍රතිකාර ගනිමින් පසුවන බවත් මා හට පැවසීය. ඇය පැරසිටමෝල් පෙත්තක පවා රෝගීව සිටියදිත් නොගන්නා බව අසා මගේ සිතේ කුකුසක් ඇති වූ නමුදු මගේ ඒකායන පැතුම වූයේ සියලු දේ යහපත්ව ඇය ඉක්මන් සුව ලබන්නේ නම් ඒ කෙතරම් ආශ්චර්යයක් ද යන්න ය.
ඇගේ ගීතයන් ද මා හට අසේල විසින් අසන්නට එවා තිබූ අතර එම ගායනාවන් අසා මා ද ඇය සමග යුග ගීයක් ගැයීමට ප්‍රිය බව ඔහුට පැවසීය. මා හට "මල් රේණුවක්......." ගීතය ලියූ නැසීගිය, රංජි අමරාවතී විසින් ම යුග ගීතයක් අප දෙදෙනාට ගැයුමට ලියා දුන් අතර මා එය අසේලට ලබා දීමෙන් මතු එය දේවින්ද පතිරාජ නම් අයෙක්ට සංගීතවත් කිරීමට භාර දුන් බව ද ඔහු මට පැවසීය. එහි අරුමය වන්නේ 2019 වසරේ නොවැම්බර් මස එම ගීතය ලියූ රංජි අමරාවතී ද රුදුරු පිළිකා රෝගයටම ගොදුරු වී අපෙන් අකාලයේ සමුගැනීම ය. අප ගැයීමට නියමිතව සිටි "හන්තාන පියස නම් සොඳුරුයි......" නැමැති ගීතය අප ගැයුවේ නම් එය ගෙවුණ පසුකාලයේ දී අසේලට වඩාත් ගැලපෙන පදරුත් සහිත බව මට සිතුණ අවස්ථා බොහෝ ය. එය අසේල සහ හසිනි ජීවන අන්දරයයි. එහෙත් නොගැයුණු ගීයක් ලෙස ඉතිහාසයට එක්වන එම ගීයෙහි පළමු සහ දෙවන යුග ඛණ්ඩයන් ඔබට මෙසේ අකුරු කරන්නේ එහි අනුවේදනීය බව පසක් කරනු පිණිස ය. පි : හන්තාන පියස නම් සොඳුරුයි මං තාම මෙතැන තනිකඩයි දැන් සීත සුළඟ යන්නට යයි ආයෙමත් මං තනිකඩයි ගැ : සංසාර නික්මණ මෙය නොවෙයි සංසාර මග තව බෝ දුරයි හන්තාන පියසේ මල් පිපෙයි හන්තානෙදිම අපි මුණ ගැසෙයි කීර්ති පැස්කුවෙල් අයියාගේ "මනමාල හැන්ඳෑව" ප්‍රසංගය දිනයේ මා හසිනි සහ අසේල දෙපළවම මුල්වරට සජීවිව දුටු අතර ප්‍රසංග අවසානයේ ඔවුන් පෙනෙන්නට නොසිටි බැවින් මා ගෙදරට පැමිණි වහාම අසේල ඇමතීය. එවිට ඔහු පැවසූවේ සෙනඟ බොහෝ රැස්ව සිටින ස්ථානයක ඇය රඳවාගෙන සිටීම අසීරු බැවින් ඔවුන් ඉක්මණින් ඉන් පිටත් වූ බව ය. එදින හසිනි නංගී ද මා සමගින් කතා කළ අතර ඇය පවසා සිටියේ තවත් ටිකක් සුව අතට හැරුණු විට අප එක්ව යුග ගීතය ගයමු කියාය. මේ අතර කාලය ගෙවී ගොස් මේ 2020 වසරේ මාර්තු 03 වනදා මා හට අසේලගෙන් ඇමතුමක් ලැබුණේ හසිනිට ආධ්‍යාත්මික ප්‍රතිකාර ලබාදෙන දීගොඩ කුමාරයන් ද අසනීප බැවින් ඇයට ප්‍රතිකාර කළ හැකි වෙනත් වෙදැදුරෙකු මගෙන් විමසාය. ඉන්පසු ඔහු මගේ නිවසට පැමිණි අතර එදින මගේ නිවසේ ප්‍රවීණ ගායක යුවලක් වන රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළ ද පැමිණ සිටියහ. එහිදී රූකාන්ත විසින් ද පියතුමෙක්ගේ සම්බන්ධතාවක් ඔහු හට පවසා සිටියේය. මා ද හැකි පමණින් ඇයගේ යහපත උදෙසා කළ හැකි සියල්ලක්ම සිදු කළෙමි. එදිනෙන් ඉනික්බිතිව යෙදුණ ඊළඟ සඳුදා දින ඇයට බොහෝ අසාධ්‍ය බව පවසා අසේල මා ඇමතු අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑගසන අයුරු මට ශ්‍රවණය විය. එය මා මහත් කම්පනයකට ලක් කළේය. ඇය එම සතියේ අඟහරුවාදා ප්‍රතිකාර ලබා බදාදාවේ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කරනු මා මුහුණුපොතින් දුටුවෙමි.
ඇගේ කේන්දර පිටපත මා ප්‍රවීණ ජෝතීර්‍යවේදිනී චන්දිමා උඩුකුඹුර හට ලබා දුන් අතර ඇය අසේල දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට වෙර ගෙන එය අසාර්ථක වූ බැවින් මා අමතා පවසා සිටියේ මේ කාලය බොහෝ අයහපත් බවත්, ඇය මේ මස 27 වන දින තෙක් ප්‍රවේශම් කරගත හොත් ඇය නිසැක සුව ලබන බවත් ය. එහෙත් ඉන්පසු ද මා අසේල දුරකථනයෙන් සම්බන්ධ කරගන්නට තැත් කළත් එය අසාර්ථක විය. ඉන් සුළු මොහොතකට පසු මුහුණුපොත ඔස්සේ හසිනිගේ හදිසි වියෝව දැක මගේ සිත වෙළාගත් දුක වචනයට පෙරළීම පහසු නැත. එදින එම වියෝවත් සමග හසිනිව මුළු ලංකාවම වෙනදාටත් වඩා දැන ගත්තෝය. ඇගේ ගායනා බොහෝ ජනාදරයට ලක්විය. එහෙත් ඇගේ සුවය වෙනුවෙන් ඇගේ සැමියා කළ කැපවීම සහ මෙහෙය අපි පමණක් දුටුවෙමු. දිවි සෙවණැල්ලක් විලස ඇය අසලම සැම විට රැඳුණ ඔහු ඇගේ ජීවිතයේ අවසන් පරිචය බොහෝ විට ඇයට තුටු සිත් ගෙනාවේය. නමුත් කාලය කොතෙක් නම් වේදනාබර සහ අනපේක්ෂිත දැයි හැඟෙමින්, අද අසේල ද අප අතැර නික්ම ගොස් ඇති බව මම මුහුණුපොත ඔස්සේ දුටිමි. ඔහු ලොවක් හමුවේ ශේෂ කළ ප්‍රේමයේ පාඩම පමණක් අපට පෙන්වා දී, ඔහු ද දැන් පස් වසරකට සිය ප්‍රේමිය සොයා නික්ම ගොස් ඇත. ආදරණීය අසේල මල්ලි, ඔබටත් හසිනිටත් නිර්වාණ සුවය දුරක නොවේවායි ප්‍රාර්ථනා කරන්නෙමි !!!"





