භාණ්ඩාගාරයේ සන්නිවේදන පද්ධතිය හැක් කරයි - ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් හැකර්වරු අතට
ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍යායතනය වෙත ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු මුදල් ප්‍රමාණයක් අන්තර්ජාල හැකර්වරුන් පිරිසක් විසින් සොරකම් කර ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අනාවරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහා භාණ්ඩාගාරය සහ ඕස්ට්‍රේලියානු ආයතනය අතර මුදල් පියවීමේ කටයුතු සම්බන්ධයෙන් ඊමේල් (Email) පණිවිඩ හරහා සිදුකළ සන්නිවේදනයන් හැකර්වරුන් විසින් තම ග්‍රහණයට ගෙන ඇති බවයි.
එහිදී ඔවුන් විසින් ලබාදුන් ව්‍යාජ ගිණුම් අංක වෙත මෙම මුදල් බැර වී ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මීට අමතරව, ඉන්දියාවට ගෙවිය යුතු මුදල් ද මෙලෙස ලබා ගැනීමට මෙම කණ්ඩායම උත්සාහ කර ඇති බව හඳුනාගෙන ඇත.
ගිණුම් අංකවල වෙනසක් පිළිබඳව සැක මතු වූ වහාම මහා භාණ්ඩාගාරය විසින් පොලිස් පරිගණක අපරාධ විමර්ශන අංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) දැනුවත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ ගනුදෙනුවලදී නිලධාරීන් අතින් සිදුවූ අතපසුවීම් පිළිබඳව සොයා බැලීමට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකු යටතේ විනය පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වේ.
ඒ අනුව දැනටමත් ඇතැම් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.