නුවරඑළියට අධික මිදුම් සහ තද සුළං - ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි තාවකාලිකව අත්හිටුවයි
නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පසුගිය (20) ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට එහි වාන් දොරටු විවෘත කර විශාල ජල ප්‍රමාණයක් අඛණ්ඩව පිටතට මුදා හරිමින් පවතී.
ගංවතුර තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සහ වැව් බැම්මේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත පියවරක් ලෙස, වැවේ නියමිත ධාරිතාව ඉක්මවා එක්රැස් වන ජලය මෙලෙස වාන් දොරටු හරහා පිටතට මුදා හැරීමට පියවර ගෙන ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ග්‍රෙගරි වැවට ගලා එන ජල ප්‍රමාණය ද වේගයෙන් ඉහළ ගොස් තිබේ. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ නානුඔය නගරය හරහා ගලා බසින ජල මාර්ගවල ජල මට්ටමද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර, නුවරඑළිය ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි තාවකාලිකව අත්හිටුවා තිබේ.
ප්‍රදේශයේ පවතින සුළු වර්ෂාව, තද සුළං සහ අධික මිදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
බෝට්ටු සවාරි අත්හිටුවීමත් සමඟ ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංචාරකයින්ගේ පැමිණීමද සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර, මේ වන විට එම ප්‍රදේශය සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සංචාරක කාර්යබහුලත්වයෙන් තොර පාළු ස්වභාවයක් ගෙන තිබේ.
ඊයේ (23) සිට නුවරඑළිය ප්‍රදේශයට තද සුළං සමඟ විටින් විට තද වර්ෂාවක්ද ඇදහැලෙමින් පවතින අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ සංචාරක ස්ථාන වෙත පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.