නුවරඑළියේ ග්‍රෙගරි වැව රකින්න අලුත් තීරණයක් - දූෂණය පාලනයට වැඩපිළිවෙළක්

Report

නුවරඑළිය ග්‍රෙගරි වැවේ දිනෙන් දින උග්‍ර වෙමින් පවතින ජල දූෂණ තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් සහ දීර්ඝකාලීන පියවර ඇතුළත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ සම්බන්ධයෙන් විශේෂ නිරීක්ෂණයක් සහ සාකච්ඡාවක් පැවැත්විණි.

නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල මහතා, දිස්ත්‍රික් ලේකම් නන්දන ජයකොඩි මහතා, පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ලංකාවටම සුභම සුභ ආරංචියක් - කොළඹ වරාය ලෝකයම දිනයි

ලංකාවටම සුභම සුභ ආරංචියක් - කොළඹ වරාය ලෝකයම දිනයි

මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා මෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහුද සහභාගි වූහ.

ග්‍රෙගරි වැවේ දූෂණ තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය, නුවරඑළිය මහ නගර සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය වන පරිදි විශේෂ කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීමට මෙහිදී තීරණය කර තිබේ.

එම කමිටුව මගින් වැවේ දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ අතර, කෘෂිකාර්මික ප්‍රදේශවලින් ගලා එන ජලය සහ නාගරික අපජලය ග්‍රෙගරි වැවට ඇතුළුවීමට පෙර ස්වභාවිකව පිරිපහදු කිරීම සඳහා නිර්මාණය කර ඇති පොකුණු 13කින් සමන්විත ස්වභාවික පිරිපහදු පද්ධතිය යළි සක්‍රීය කිරීමටද බලධාරීන් තීරණය කර ඇත.

වැවේ ඇතිවන දුර්ගන්ධය අවම කිරීම සහ ජලයේ නයිට්‍රජන් හා පොස්පරස් මට්ටම් පහත හෙළීම සඳහා ස්වභාවික වාතනය වැඩිදියුණු කිරීම සහ ස්වභාවික පෙරහන් ක්‍රම හඳුන්වාදීමටද සැලසුම් කර තිබේ.

මීට අමතරව, නුවරඑළිය මහ නගර සභාවේ මලාපවහන පද්ධතියෙන් නිකුත් වන අපජලය ඇතුළු අපද්‍රව්‍ය ග්‍රෙගරි වැවට එක්වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත දීර්ඝකාලීන ව්‍යාපෘති කඩිනම් කිරීමටද අවධානය යොමු වී ඇත.

ග්‍රෙගරි වැවේ පාරිසරික තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම නුවරඑළියේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් ලෙස එහි වැදගත්කම ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින්, කෙටි හා දීර්ඝකාලීන වැඩපිළිවෙළ දෙකම අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අද මුහුදට යන අය අවධානයෙන් - ප්‍රදේශ කිහිපයක තද සුළං සහ රළු මුහුදක්

අද මුහුදට යන අය අවධානයෙන් - ප්‍රදේශ කිහිපයක තද සුළං සහ රළු මුහුදක්