ඉවසුවා ඇති කියා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට
ග්‍රාම නිලධාරිනියන්ට විවිධ අවස්ථාවලදී භයානක සිදුවීම්වලට මුහුණ දීමට සිදුවී ඇති බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අද (13) සිට වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සංගමයේ සාමාජිකයන් විසින් සිදු කරන බවත්, මේ සඳහා සහයෝගය ලබාදෙන ලෙස අනෙකුත් සංගම්වල නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ග්‍රාම නිලධාරීන්ගෙන් සියයට හැටකට වඩා වැඩි පිරිසක් කාන්තාවන් වන අතර, බොහෝ ග්‍රාම නිලධාරි කාර්යාල හුදකලා හෝ ජනශූන්‍ය ප්‍රදේශවල පිහිටා ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ නිසා, නිලධාරිනියන්ගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් ඉල්ලමින් අද (13) රාත්‍රියේ සිට ආපදා, මරණ ඇතුළු සියලු රාත්‍රී රාජකාරිවලින් ඉවත් වීමට පියවර ගන්නා බව ඔහු පැවසීය. මේ හේතුවෙන්, හුදකලා කාර්යාලවල සේවය කරන නිලධාරිනියන්ට විවිධ අවස්ථාවලදී ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව නෙවිල් විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
