“ජනාධිපති පරිසර සම්මාන 2026” අයදුම් අවසන් දිනය දීර්ඝ වෙයි
මධ්‍යම පරිසර අධිකාරිය සංවිධාන කරන “ජනාධිපති පරිසර සම්මාන – 2026” වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2026 මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අයදුම්කරුවන් වෙතින් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙලෙස අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කළ බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ. “කර්මාන්ත අංශය”, “ව්‍යාපෘති අංශය” සහ “ආයතන, මාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ තුනක් යටතේ මේ සඳහා අයදුම් කළ හැකියි.
මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112873447, 0112872278 යන දුරකථන අංකවලට හෝ 0112888999 යන ක්ෂණික ඇමතුම් අංකය වෙත ඇමතීමෙන් අයදුම්පත් සහ වැඩි විස්තර ලබා ගැනීමට අවකාශ සලසා තිබෙනවා.
තවද, වැඩිදුර විස්තර සහකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා මෙනවිය (0725064285), සහකාර අධ්යක්ෂ සංජීව පුළුකුට්ටිආරච්චි මහතා (0712691109), සහ සහකාර අධ්යක්ෂ ඩී. එම්. එස්. එස්. බණ්ඩාර මහතා (0777960357) ඇමතීමෙන් ලබා ගත හැකි අතර මාධ්‍ය අංශයේ තොරතුරු සඳහා මාධ්‍ය නිලධාරී ශ්‍රියාන්ජනී ලොකුලියන මෙනවිය (0776252288) ඇමතිය හැකියි.
සම්මාන උත්සවයේ ඇගයීම් කටයුතු ඒ ඒ අංශයට අදාළ විශේෂඥයන් විසින් සිදුකරනු ලබන අතර විශේෂඥ කමිටුවේ තීරණය අවසන් තීරණයයි. “ජනාධිපති පරිසර සම්මාන” (රන් සම්මාන), “රිදී පරිසර සම්මාන”, “ලෝකඩ පරිසර සම්මාන” සහ “කුසලතා පරිසර සම්මාන” ආදී ලෙස වූ සම්මාන හිමිකර ගැනීමට “ජනාධිපති පරිසර සම්මාන” උළෙලේ දී තරඟකරුවන්ට අවස්ථාව හිමි වේ.
ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ඔක්තෝම්බර් මාසයේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. “ජනාධිපති පරිසර සම්මාන” වැඩසටහන මෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය පෙරදැරි කර ගනිමින්.