අමෙරිකාවේ වෙසෙන බෞද්ධ ජනතාවට සුබ පුවතක්
මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපනමක් අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා වන්දනාමාන කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, අම්පාර ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීලගිරි ස්ථූප කැනීමෙන් අනාවරණය වූ ක්‍රි.පූ. 1–2 සියවස්වලට අයත් ධාතුන් වහන්සේලා, ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් තායිලන්තයෙන් ප්රදානය කරන ලද කේශ ධාතුන් වහන්සේලා සහ මහියංගන රජමහා විහාරයේ තැන්පත් සර්වඥ ධාතුන් වහන්සේලා මෙලෙස වැඩම කරවීමට නියමිතය.
මෙම ධාතු ප්‍රදර්ශනය 2026 මැයි 2 සිට මැයි 10 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන සඳහා ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ ස්වාමීන් වහන්සේ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසිනි. ඒ අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.