ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාස ගත ලෙස ඉහළට...
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ලෝකයේ රටවල් රැසකට පැනවූ සහ පැනවීමට නියමිත තීරුබදු හමුවේ සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළෙඳපොළේ රන්මිල දැන් ඉතිහාසයේ ඉහළම අගයට පත්වී තිබේ.
ඒ අනුව අත්පිට මුදලට අලෙවිකරන රන්මිල අවුන්සයක් අමෙරිකානු ඩොලර් 2,945 දක්වා ඉහළගොස් ඇති බව ජාත්‍යන්තර වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වසර ආරම්භයේ සිට ලෝක වෙළෙඳපොළේ රන් මිල 09 වතාවක් ඉතිහාසයේ ඉහළම මිල කඩයිම් පසුකර තිබේ. පසුගිය දින 30 ගත් විට රන් අවුන්සයක මිල ඩොලර් 161කිනුත්, මාස 06ක් තුළ ඩොලර් 407කිනුත් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ විශ්ලේෂකයන් සඳහන් කරන ආකාරයට රන්මිල මේ ආකාරයෙන් ඉහළයාමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ මෝටර් රථ සහ ඖෂධ සඳහා 25%ක තීරුබදු පනවන බවට ජනපති ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයයි.
මෙම නව බදු අප්‍රේල් 2 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ඔහු සඳහන් කළේය. මෙම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වෙමින් රන් අවුසයක මිල අමෙරිකානු ඩොලර් 3000 ඉක්මවා ස්ථාවර වනු ඇති බවට පුරෝකථන පළ කරයි.
තීරුබදු පිළිබඳ අවිනිශ්චිතතාව මෙන්ම අපේක්ෂිත උද්ධමන පීඩනයද රන්මිල ඉහළයාමට බලපා ඇති අනෙක් කාරණ අතර වෙයි. පොලී අනුපාත පහළ වැටීමද රන් සඳහා ආකර්ෂණය ඉහළ නැංවීමට හේතුවී තිබේ.
ලෝක වෙළෙඳපොළේ රන්මිල ඉහළයාමේ ප්‍රවණතාව ආරම්භ වූයේ 2022 වසරේ රුසියානු - යුක්‍රේන යුද්ධය නිසා පැනනැඟුනු භූ දේශපාලනික වාතාවරණය හමුවේ රන් සඳහා ඉල්ලුම ඉහළයාමත් සමගය.
You may like this video
