අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
තිනියාවල ආරණ්‍ය සේනාසනයකදී ඊයේ (03) පස්වරුවේදී පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයටගත් අවස්ථාවේදී බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයේ අවසර නොගෙන ඇමතීම සහ අධිකරණයට බාධාවන ආකාරයෙන් හැසිරෙමින් අධිකරණයට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල විභාග කළ එවක අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ විනිසුරු මඩුල්ලක් 2018 වසරේ මැයි 24 වැනිදා, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ඥානසාර හිමි වරදකරු කරමින් උන්වහන්සේට බරපතළ වැඩ සහිත වසර 19ක සිර දඬුවම් නියම කළේ එම සිර දඬුවම වසර 06කින් ගෙවී යන ආකාරයෙනි.
කෙසේවෙතත්, 2019 වසරේ මැයි 23 වැනිදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේට ජනපති පොදු සමාව ප්රදානය කළේය.
ඊට එරෙහිව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් සැප්තැම්බර් මාසයේ විභාගයට ගැනීමෙන් පසු ඊට අදාල තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.
ඒ, ඥානසාර හිමියන්ට පොදු සමාව ප්රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය නීතිය ඉදිරියේ බල රහිත බවට නියෝග කරමිනි.
කෙසේවෙතත් ජනාධිපති පොදු සමාව බල රහිත කරන මෙන් අධිකරණ නියෝග නිකුත් කර තිබූ පසුබිමක පවා උන්වහන්සේ අධිකරණය හමුවට ඉදිරිපත් නොවූ අතර ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබූ අතර එම මෝසම ඉකුත් 29 වැනිදා කැඳවනු ලැබුවේ මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
එහිදී නොතීසි නිකුත් වී සිටි විත්තිකාර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදිනත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
විත්තිකරු පිත්තාශයේ සැත්කමකට ලක්කර ඇති බවත් මේවන විට ඔහු විවේක ගන්නා බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා පවසා සිටියත් ඒ වෙනුවෙන් අදාළ වෛද්‍ය වාර්තා කිසිවක් අධිකරණය හමුවේ ඉදිරිපත් නොවුණ අතර ඒ අනුව කරුණු සලකා බැලූ ගරු අධිකරණය විත්තිකාර හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් විසින් විවෘත වරෙන්තු නිකුත් කළේය.
උන්වහන්සේගේ විදෙස් ගමන්ද තහනම් කළ අධිකරණය අදාළ වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඔක්තෝබර් පළමුවැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කෙරිණි.
අදාළ වරෙන්තුව ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (03) පස්වරුවේය.