ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ප්‍රජාවට අපහාසකළා යැයි චෝනා ලැබූ ඥානසාර හිමිට අද ලැබුණු තීන්දුව
ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ප්‍රජාවට දැඩි ලෙස අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදුකළේ යැයි චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නිල වශයෙන් ගොනුකර තිබෙන සුවිශේෂී නඩුවක් එළඹෙන ජූලි මස 31 වනදා යළි විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියෝග කළේය.
මෙම නඩුව මීට පෙර අඛණ්ඩව විභාගකරන ලද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා අද 26 දින නිල රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් අදාළ නඩුව අද දින මහාධිකරණ භූමියේදී කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරිපිටය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සියල්ල සලකා බැලූ විනිසුරුවරයා නියෝග කර සිටියේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා එළඹෙන ජූලි මස 31 වනදා නැවත වරක් මහාධිකරණය හමුවේ කැඳවන ලෙසය.
අද දින මෙම නඩුව විවෘත අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට දැඩි ලෙස අපහාසාත්මක වන ආකාරයේ පදනම් විරහිත ප්‍රකාශයක් සිදු කිරීම තුළින් රටේ විවිධ ජාතීන් අතර පවතින ආගමික සහජීවනය සහ සමාජ සංහිඳියාව සෘජුවම උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි සාක්ෂි සහිතව චෝදනා කරමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.