ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ (Animation) කාටූන් චිත්‍රපටය නිර්මාණය කළ ප්‍රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 73 වැනි වියේ පසුවූ ඒ මහතා පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සහෝදරයෙකු වන ගිවන්ත අර්ථසාද් මහතා ශ්‍රී ලාංකේය සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ සජීවීකරණ හා දෘශ්‍ය ප්‍රයෝග (Special Effects) කලාවේ පුරෝගාමියෙකු ලෙස සැලකේ.
1979 වසරේදී තිරගත වූ ‘දුටුගැමුණු’ චිත්‍රපටය නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය සිනමාවට ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය හඳුන්වා දීමට ඔහු දායක වී තිබේ.
සජීවීකරණ ක්ෂේත්‍රයට අමතරව චිත්‍ර කලාව, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමා ව්‍යාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසකද ඔහු සිය නිර්මාණශීලී හැකියාවන් ප්‍රදර්ශනය කර ඇත.
සිනමා තාක්ෂණය සහ සිනමා භාෂාව සම්බන්ධයෙන් වැදගත් කෘතියක් ලෙස සැලකෙන ‘සිනමා - මායා’ ග්‍රන්ථයේ කතුවරයාද ගිවන්ත අර්ථසාද් මහතාය.
මීට අමතරව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ඔහු කෙටි කාලයක් සේවය කර තිබේ.ශ්‍රී ලාංකේය සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයට සජීවීකරණය සහ දෘශ්‍ය ප්‍රයෝග හරහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ගිවන්ත අර්ථසාද් මහතාගේ අභාවය එම ක්ෂේත්‍රයට සිදුවූ පාඩුවක් ලෙස සැලකේ.