වසර 16කට පස්සේ පේරාදෙණියෙන් දැකබලා ගන්න ලැබෙන අපූරු අත්දැකීම- ලොව විශාලතම යෝධ උඩවැඩියා මල පිපෙයි
ලොව විශාලතම උඩවැඩියා ශාඛයක යෝධ උඩවැඩියා මල් ගොන්නක් මේ දිනවල පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පිපී තිබෙන බව සදහන් වෙයි Grammatopyllum speciosum උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම යෝධ උඩවැඩියා ශාඛය ලොව විශාලත්වයෙන් වැඩිම උඩවැඩියා ශාඛය ලෙස වර්තා ගත වී ඇති බව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ උඩවැඩියා අංශ ප්‍රධානී ඉරෝෂණි අන්ද්‍රාදි මහත්මිය සදහන් කළේ මෙවෑන්නකි.
“මෙම යෝධ උඩවැඩියා ශාඛයේ මල් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දකින්නට ලැබෙන්නේ අවුරුදු 16කට විතර පස්සේ. මෙම මල් හට ගෙන ඇති ශාඛය 2022 වසරේ රෝපණය කළ එකක්. ඒකේ පළමු වතාවටයි
මේ මල් පිපිලා තියෙන්නේ. මුලින් 2010 දී විතර මේ මල් විශේෂය දකින්න ලැබුණා. ඊට පස්සේ අවුරුදු 16කට විතර පස්සේ තමයි, මේ දැන් දකින්න ලැබිලා තියෙන්නේ. මේ ශාඛය රෝපණය කළේ 2022 දී. විශාලතම උඩවැඩියා ශාකය වන මේ ශාඛය වැඩියෙන් පැතිරිලා තියෙන්නේ අග්නිදිග ආසියානු රටවලයි. මෙම ශාඛයේ විශාල ශාඛයක් ගත්තහම ටොන් එකක් විතර බරක් තියෙනවා. මේකේ මීටර් දෙකක් තුනක් විතර උස මල් කිනිති හැදෙනවා. මේ මල් වර්ගය අතිශයින්ම දුර්ලභ නිසා අපි ආරාධනා කරනවා. දෙස් විදෙස් සංචාරකයන්ට මේ ලැබෙන දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ලොව විශාලතම උඩවැඩියා මල්ගොන්න දැකගන්න පැමිණෙන්නැයි“
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එච්.සි.පි. ජයවීර මහත්මිය සඳහන් කරන්නේ, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ මේ වන විට පිපී ඇති මෙම මෙම යෝධ උඩවැඩියා මල් සමූහය දැක ගැනීමට සියලු දෙනාට ආරාධනා කරන බවයි.
මෙම ලොව විශාලතම ඕකිඩ් මල් ගොන්න දැක ගැනීමට ලැබී ඇති දුර්ලභ අවස්ථාවක් බවත් අධ්යක්ෂ ජනරාල් ජයවීර මහත්මිය තවදුරටත් සඳහන් කළාය. Gammatophyllum speciousm උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම උඩවැඩියා ශාඛය තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය ඇතුළු රටවල්වල විශේෂයෙන් දක්නට ලැබෙයි.
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උඩවැඩියා අංශය තවදුරටත් සඳහන් කරන්නේ යෝධ උඩවැඩියා ශාඛයක් මල් පිපෙන තත්ත්වයට පරිතන වීම සඳහා වසර 8ත් 15ත් අතර කාලයක් ගත වන බවයි.
මෙම ශාඛයේ මල් වාර්ෂිකව හට නොගන්නා බවත් වසර හතරකට පමණ පසුව මල් හටගැනීම සිදු වන බවත් සඳහන් වෙයි. උද්භිද උද්‍යානයේ උඩවැඩියා අංශය තවදුරටත් සඳහන් කරන්නේ කෙසේ නමුත් ඒ සඳහා පාරිසරික සහ දේශගුණික තත්ත්යන්ද බලපාන බවයි