ගණේමුල්ල සංජීව ඝාතනයට ගිනිඅවිය ගෙනාවේ නීතිඥ වෙස්ගත් කාන්තාවගේ තොරතුරු හෙළිවෙයි. - පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)
ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණි දෙදෙනා ගැන කරුණු අනාවරණය කරගැනීමට පොලීසිය හැකියාව ලැබී තිබෙනවා.
ඒ, අනුව අද (19) දහවල් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසා සිටියේ, අදාළ ඝාතනය සඳහා රිවෝල්වරය රැගෙන ආ බව පැවසෙන කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බවයි.
"වෙඩික්කරු වගේම ඒ සඳහා සහාය දැක්වූ රිවෝල්වරය රැගෙන පැමිණි කාන්තාවත් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් රටින් පැනයාම වැළැක්වීම සඳහා මේ වනවිට ගුවන්තොටුපොළ වෙත අවශ්‍යකරන දැනුම්දීම් සියල්ල සිදුකර තියෙන්නේ. එම කාන්තාවත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක්. ඒ සියලු දෙනා හඳුනාගෙන අදාළ විමර්ශන සිදුකරනවා. අපට කෙටි කාලයක් තුළ මේ විමර්ශන අවසන් කරලා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න හැකිවෙයි".
නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් වෙඩික්කරු හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව අදාළ කාන්තාවගෙන් ගිනිඅවිය ලබාගෙන ඇති බවත් සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇත.
පසුව ගණේමුල්ල සංජීව විත්තු කූඩුවේ සිට ඉන් බැසීමට ආසන්න වෙන අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කළ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ කණ්ඩායම් 5ක් යටතේ සිදුකරන බවයි.
නීතිඥවරු භාවිත කරන 'අපරාධ නඩු විධාන සංග්‍රහය' නම් ග්‍රන්ථයේ පිටු ගිනිඅවියේ හැඩයට කපා ඉතා සූක්ෂම ලෙස අපරාධකරුවන් ගිනිඅවිය අධිකරණය තුළට රැගෙන විත් තිබූ අතර වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ ගණේමුල්ලේ කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා රැගෙන ගියද කොළඹ ජාතික රෝහලේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියේ, අදාළ පුද්ගලයාගේ පපුවට වෙඩිවැදී තිබූ බවයි.

ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය ඉතිහාසගත වෙයි. - චිත්‍රපටයක කොටසක් වගේ. - තුවක්කුව සඟවාගෙන ආ පොත එළියට. - (VIDEO /PHOTOS)
