ගනේමුල්ල සංජීව ඝාතනය - වෙඩික්කරු ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්
ප්‍රකෝටි ගණනක මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව කියන ප්‍රබල පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තවදුරටත් දෙසැම්බර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද නියෝග කළේය.
අද (21) නඩුව කැඳවූ අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
කොළඹ අපරාධ කොට්ඨාශය (CID) විසින් මෙතෙක් සිදුකළ විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් ප්‍රධාන විමර්ශන නිලධාරියා පැවසුවේ;
මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සුපුන් ප්‍රදීප් කුමාර නමැත්තා 35 වැනි සැකකරු ලෙස නම් කිරීමට අවසර ඉල්ලා ඇති අතර, ඒ සඳහා මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
රිමාන්ඩ් භාරයේ සිටින තවත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලබාගත් ප්‍රකාශ මත වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී. තවත් රිමාන්ඩ් සැකකරුවෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය බවත්, ඒ සඳහා ද අවසර ලබාදුන් බවත් නිලධාරියා සඳහන් කළේය.
මේ අතර, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවාගෙන ප්‍රශ්න කරන බවත්, ඔවුන්ගේ රැඳවුම් නියෝග පිටපත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් දන්වා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙසැම්බර් 05 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ අතර, එදින විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දුන්නේය.