ඉන්ධන මිල අඩු වීමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව ගැන සංගමයෙන් විශේෂ පැහැදිලි කිරීමක්
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කිරීමට රජය පියවර ගෙන තිබුණද, මේ වනවිට ක්‍රියාත්මක ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා සඳහන් කළේ ත්‍රිරෝද රථ ගාස්තු නියාමනයට අදාළ මිල ගණන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර අවශ්‍ය කටයුතු සඳහා අමාත්‍යාංශය වෙත භාරදී ඇති බවයි.
එම ගාස්තු නියාමනයට අදාළ නීතිමය කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත්, අදාළ නීතිය පාර්ලිමේන්තුවේදී අනුමත කර ක්‍රියාත්මක වන තෙක් නව ගාස්තු ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඔහු පැවසීය.
මේ අතර, ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ඉල්ලීමක් කිරීමටද මේ වනවිට හැකියාවක් නොමැති බව රෝහණ පෙරේරා මහතා සඳහන් කළේය.
ඊට හේතුව එම ගාස්තු සම්බන්ධයෙන් නියාමන බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාව සතු වීම බවද ඔහු පැවසීය. ඒ අනුව නව නීත්‍යානුකූල ගාස්තුවක් ප්‍රකාශයට පත් කරන තෙක් දැනට පවතින ගාස්තුම අය කිරීමට සිදුවන බව සංගමය පෙන්වා දෙයි.
දැනට පවතින ගාස්තු අනුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 110ක් සහ දෙවැනි කිලෝමීටරයේ සිට කිලෝමීටරයකට රුපියල් 90ක් අය කෙරෙන බවද එම සංගමය සඳහන් කරයි. කෙසේ වෙතත්, ප්‍රායෝගිකව මාර්ගයේ ධාවනය වන ත්‍රිරෝද රථ සඳහා මෙම ගාස්තු සීමාවන්ට වඩා වෙනස් මුදල් අය කෙරෙන අවස්ථා පවතින බවද රෝහණ පෙරේරා මහතා පැවසීය.
එමෙන්ම ඉන්ධන මිල අඩු කළද, අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට එහි ප්‍රතිලාභය සම්පූර්ණයෙන් නොලැබෙන බවටද ඔහු චෝදනා කළේය. ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් නව නියාමනය හැකි ඉක්මනින් නීතියක් බවට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.