ඉන්ධන මිල වැඩි වෙන ලකුණු - මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන විට එම බර බදු ගෙවන්නන් මත පැටවීමෙන් වැළකිය යුතු බවත්, විදුලිය හා ඉන්ධන භාවිතා කරන්නන් පිරිවැයට සරිලන මිලක් ගෙවීම ආර්ථිකයට වඩාත් යෝග්‍ය බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මක නොවීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ නම්, එම පාඩු මගහරවා ගැනීමට රජයට බදු ගෙවන්නන්ගේ මුදලින් සහන ලබාදීමට සිදුවන බවත්, එවිට එම මුදල් නැවත ලබා ගැනීමට ජනතාවට නව බදු පැනවීමට රජයට සිදුවන බවත් ආචාර්ය වීරසිංහ මහතා සඳහන් කළේය.
පිරිවැය ආවරණය වන මිලකරණයක් ක්‍රියාත්මක කිරීමේ මූලධර්මයට ශ්‍රී ලංකාව පසුගිය වසරේ එකඟ වූ බවත්, වර්තමාන විදුලි ගාස්තුවලින් පිරිවැය ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තීරණය කර ඇති බවත් ආචාර්යවරයා පැවසීය.
පිරිවැයට සරිලන ආකාරයෙන් මිල ගණන් සංශෝධනය කළ යුතු බව දෙපාර්ශවයම එකඟ වී ඇති බවත්, එවැනි මිලකරණයක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
මේ සඳහා විසඳුමක් ලබාදිය යුත්තේ බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදීය.
