අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ
එංගලන්තයේ වයස අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන් වෙනුවෙන් නොමිලේ බස් රථ ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බව හරිත පක්ෂය ප්‍රකාශ කරයි.
ඒ අනුව දැනටමත් ලන්ඩනයේ වයස අවුරුදු 18 ට අඩු අයට නොමිලේ බස් රථවල ගමන් කළ හැකි වේ.
එමෙන්ම අවුරුදු 25 දක්වා ඇතැම් පිරිස් සඳහා වෙනත් වට්ටම් ද හිමි වන අතර එංගලන්තය පුරා පවතින අනෙකුත් බස් සමාගම් ද තරුණයින් සඳහා විවිධ ප්‍රවාහන වට්ටම් ලබා දෙන බව සඳහන්.
ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් තරුණ පිරිස්වලට රැකියා සහ පුහුණු අවස්ථා ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්, ලබන මැයි මැතිවරණයෙන් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තේරී පත් වුවහොත් මෙම වෙනස සඳහා පෙනී සිටින බවත් හරිත පක්ෂයේ නායක සැක් පොලාන්ස්කි පවසයි.
එමෙන්ම ස්කොට්ලන්තයේ වයස අවුරුදු 5 සිට 22 දක්වා පිරිසට 2022 වසරේ සිට නොමිලේ බස් ගමන් පහසුකම් හිමි වී ඇත.
ඔහු පෙන්වා දෙන්නේ මෙම ක්‍රමය එංගලන්තයට ද හඳුන්වා දිය යුතු බවයි. එසේම තරුණයින් සඳහා වන මෙම පොදු බස් ගමන් බලපත්‍රය මඟින් ආර්ථිකය දියුණු වන බැවින් එය තමා විසින්ම මුදල් උපයා ගන්නා ව්‍යාපෘතියක් වනු ඇති බවට හරිත පක්ෂයේ අදහස වේ.
පොලාන්ස්කි කියා සිටින්නේ, "ජීවන වියදම් අර්බුදය නිසා තරුණ පිරිස් රැකියා සහ පුහුණු අවස්ථාවලින් වැඩි වැඩියෙන් බැහැර වන අතර, මෙහි දරුණුතම බලපෑම එල්ල වන්නේ ඉතාමත් අඩු වයසැති තරුණයින්ටයි," යනුවෙන්.
ඒ අනුව වර්තමාන කම්කරු පක්ෂ රජය දිළිඳු ජනතාව තවත් දිළිඳු කරමින් සහ ධනවතුන් තවත් ධනවත් කරමින් තරුණයින්ගේ මෙම දුෂ්කර තත්ත්වය තවත් නරක අතට හරවා ඇති බවට ද ඔහු චෝදනා කරයි.
අඳාළ වැඩපිළිවෙළ ඉකුත් වසරේ ප්‍රවාහන තේරීම් කාරක සභාව නිර්දේශ කරන ලද්දක් වන අතර එය යථාර්ථයක් බවට පත් කිරීමට ජාතික මට්ටමින් දේශපාලන බලපෑම් කරන බව පොලාන්ස්කි පවසයි.
එමෙන්ම පර්යේෂණයකට අනුව, එරට තුළ සේවකයින් මිලියන 2.2 ක් රැකියාවට යාම සඳහා බස් රථ මත යැපෙන අතර ඔවුන් වාර්ෂිකව පවුම් බිලියන 72 ක සාමූහික ආදායමක් උපයා දෙන බවට හරිත පක්ෂය පෙන්වා දෙයි.