ඇමති විජිත බෙලරුස් ජන රජයේ නිල සංචාරයක
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (2026 මැයි 12) සිට 15 වැනිදා දක්වා බෙලරුස් ජනරජයේ සිව්දින නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මෙම සංචාරය සිදු වන්නේ බෙලරුස් විදේශ අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව් (Maxim Ryzhenkov) මහතා විසින් කරන ලද විශේෂ ආරාධනයකට අනුව වන අතර එය දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 25 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය වූ වැදගත් සන්ධිස්ථානයකි.
මින්ස්ක් (Minsk) නගරයේදී අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ (Alexander Lukashenko) මහතා හමු වීමට නියමිත අතර බෙලරුස් විදේශ අමාත්‍යවරයා සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
මෙම සංචාරය අතරතුර අධ්‍යාපනය, සෞඛ්‍යය, ගුවන් සේවා සහ වෙළඳ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය.
විශේෂයෙන්ම බෙලරුස්හි උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් හමුවී ඔවුන්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීමට ද අමාත්‍යවරයා කටයුතු කරනු ඇත.
මෙයට අමතරව බෙලරුස් ජාතික අපනයන මධ්‍යස්ථානය සංවිධානය කරන ව්‍යාපාරික සහ සංචාරක වටමේස සාකච්ඡාවකට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට ද අමාත්‍යවරයා අපේක්ෂා කරයි.
මෙම සංචාරය හරහා නැගෙනහිර යුරෝපීය කලාපය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරටටම ආර්ථික හා සමාජීය වශයෙන් වාසිදායක නව අවස්ථා උදා කරගැනීම රජයේ මූලික අරමුණ වී තිබේ.