ෆේස්බුක් හරහා රැකියා ජාවාරම් – රටම අවදානමේ
යූටියුබ් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය යොදාගනිමින් වංචනික ලෙස විදේශ රැකියා ජාවාරමක් සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) නිවේදනය කරයි.
ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින්, එම රටේ සේවය කළ බවට පෙනී සිටින පුද්ගලයකු විසින් මෙම ජාවාරම සිදුකරන බවට තොරතුරු හෙළිවී ඇත. එම පුද්ගලයා ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වීඩියෝ ප්‍රකාශ ලබාගෙන, ඔවුන් තමන් හරහා රැකියා සඳහා පැමිණි බවට ව්‍යාජ ප්‍රකාශ සකස් කර, එම වීඩියෝ යූටියුබ් සහ ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරමින් මෙම වංචාව සිදුකර ඇත.
මෙලෙස පළකරන ලද තොරතුරුවලට රැවටුනු පුද්ගලයන්ගෙන් මුදල් ලබාගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙම ජාවාරමට හසුවූ පුද්ගලයන් විසින් කාර්යාංශයට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. එම පැමිණිලිවලට අනුව, අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.
විදේශ ගමන් බලාපොරොත්තුවන ප්‍රජාව මුළාකරමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මෙවැනි වංචනික ප්‍රචාරණවලට රැවටීමෙන් වැළකී සිටින ලෙසත්, එවැනි ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම තොරතුරු 1989 දුරකථන අංකයට හෝ විශේෂ විමර්ශන අංශයේ 011-2864123 අංකයට ලබාදිය හැකිය.
විදේශ රැකියා සඳහා බලපත්‍රලාභී ආයතන හරහා පමණක් යොමු වන ලෙසත්, සමාජ මාධ්‍ය හරහා ලබාදෙන රැකියා පිළිබඳ තොරතුරුවල විධිමත්භාවය පිරික්සා බලන ලෙසත් කාර්යාංශය මහජනතාවට අනතුරු ඇඟවීය.
