සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් විතරයි - හිටපු පා. ම. සරත් වීරසේකර කට අරියි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුව විසින් සිදු කළ තවත් රැවටීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.
එහිදී අදහස් දැක්වූ සරත් වීරසේකර සඳහන් කළේ, මෙම අත්අඩංගුවට ගැනීම කාදිනල්තුමන්, කතෝලික සභාව සහ ප්‍රහාරයට ලක්වූ වින්දිතයන් රැවටීමට ආණ්ඩුව ගත් පියවරක් ලෙස තමා සලකන බවයි.
තවද, ජනතාවගේ අවධානය වෙනත් දිශාවකට යොමු කිරීමේ අරමුණින් මෙවැනි ක්‍රියාවක් සිදු කර ඇති බවත්, පොලිස් මාධ්‍ය පවා විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් නිශ්චිත හේතුව පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදී නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළ අදහස් පහතින් දැක්වේ.
'' එක හේතුවක් තියෙනවා. ඒක තමයි පිල්ලෙයාන්ගේ මාධ්‍ය ලේකම් අසාද් මවුලානා කියන පුද්ගලයා චැනල් ෆෝ කියන එකට කියලා තියෙනවා 2018දී සලේ සහරාන්ව හම්බුනා පුද්ගලිකව. හම්බවෙලා එයත් හිටියා එතන. ඉතින් එතනදී කිව්වා මේ රට අනාරක්ෂිත රටක් බවට පත් කළොත් තමයි ගෝඨාභයට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි දන්නවා චැනල් ෆෝ කියන්නේ මොකක්ද කියලා. සම්පූර්ණයෙන්ම හමුදාවට විරුද්ධ අසත්‍ය ප්‍රකාශ කරන චැනල් එකක්.
ඒක නිසා වෙන්න පුළුවන් සලේව අත්අඩංගුවට ගත්තේ. සුරේෂ් සලේ කියන ඒ බුද්ධි නිලධාරියා 2016 දෙසැම්බර් ඉදන් 2018 දෙසැම්බර් වෙනකන් හිටියේ මැලේසියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ තමයි සේවය කළේ. 2019 ජනවාරි තුන්වෙනිදා ඉදන් 2019 දෙසැම්බර් වෙනකන් හිටියේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක පීඨයේ තමයි හිටියේ. ඒ කියන්නේ ලංකාවේ හිටියෙම නෑ.
එතකොට ලංකාවේ හිටියේ නැත්තං කොහොමද සලේ මේ සහරාන් හම්බවෙන්න ලංකාවට ආවේ කියන එක තමයි ප්‍රශ්නේ. කවුරුහරි හිතනවා නම් බෝට්ටුවකින් ඇවිල්ලා හොරෙන් ඇවිල්ලා ගියයි කියලා ඉතින් ඒක හින්දා ඒ වගේ බුද්ධි මට්ටමක් තියෙන ජනතාව මං හිතන්නේ නෑ ලංකාවේ ඉඳියි කියලා. ඒ වගේම තමයි එතකොට පිල්ලෙයාන් ඉතා පැහැදිලිව කියනවා මෙයා රටින් පැනලා ගියේ දේශපාලන රැකවරණය සොයන්න. ඒ වගේම තමයි සහරාන්ගේ මල්ලි, රිල්වාන් අපි දන්නවා පෙරහුරුවක් කරන්න ගිහිල්ලා මේ පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ලා බෝම්බය පිපිරිලා, තුවාල වුණාට පස්සේ, ඩොක්ටර් සෆ්රාස් කියන එක්කෙනෙක් තමයි ජාතික රෝහලේ මෙයාට ප්‍රතිකාර කළේ. එතකොට සෆ්රාස්ගේ හොඳම මිතුරා, තමයි මේ අසාද් මවුලාන් කියලා පිල්ලෙයාන් කියනවා. ඒක නිසා තමයි අද දෙන්නම මේ රටෙන් පැනලා ඉන්නේ.''