සරුංගල් නූල නිසා රත්මලානේ නැවතුණු ගුවන් ගමන
රත්මලාන ගුවන්තොටුපළෙන් පුහුණු මෙහෙයුමක් සඳහා ගුවන්ගත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූල් පැටලීම හේතුවෙන් එය ආරක්ෂිතව යළි ගොඩබස්වා තිබේ.
අද (15) සිදුවූ මෙම සිද්ධියෙන් අනතුරුව සිදුකළ තාක්ෂණික පරීක්ෂණයේදී යානයේ වම්පස රෝදය, වම්පස එන්ජින් ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයක සරුංගල් නූල් විශාල ප්‍රමාණයක් පැටලී තිබූ බව අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ, සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ගුවන් යානයක එන්ජිමට හෝ ක්‍රියාකාරී පද්ධතිවලට ඇතුළුවීම බරපතළ ආරක්ෂක අවදානමක් ඇති කළ හැකි බවයි.
මේ දිනවල සරුංගල් යැවීමේ කාලය හේතුවෙන් ගුවන් ධාවන පථ සහ ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල මෙවැනි ක්‍රියාකාරකම් ඉහළ යාම ගුවන් මෙහෙයුම්වලට බලපෑම් ඇති කළ හැකි බව ගුවන් හමුදාව පෙන්වා දී තිබේ.
ධාවන පථ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීම ලොව පුරා ගුවන් ආරක්ෂාවට අවදානමක් ලෙස සැලකෙන අතර, ගුවන් යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබැස්වීමේ ක්‍රියාවලියට එය බාධාවක් විය හැකිය.
කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියාව, වීරවිල සහ මත්තල යන ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල මෙවැනි අවදානම් තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කර තිබේ. ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගුවන් ධාවන පථ හා ගුවන්තොටුපළ අවට ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙසයි.