වැසිකිලියක් මුරකොට පුතාට ක්‍රිකට් පුරුදු කළ පියා!
"මගේ පුතා දැන් මගේම පුතා විතරක් නෙමෙයි, ඔහු දැන් සමස්ථ බිහාරයේම පුතෙක්" "කොච්චර උඩට ගියත් පුතා පොළවේ පය ගහලා ඉන්නවා දකින්නයි මට ඕනි.
මම IPL වෙන්දේසිය වෙලාවේ පුතාට කතා කළා, මම ඔහුට කිව්වේ ඕවා එකක් වත් ඔළුවේ තියාගන්න එපා. ඔයාට තව සෑහෙන දුරක් යන්න තියෙනවා."
මෙහෙම කියන්නේ දැන් ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්තම මාතෘකාව බවට පත් වෙලා ඉන්න වයිබව් සූර්යවංශී ගේ පියා. ඔහු ඊයේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ තරග වරම් දිනාගත්ත ලාබාලතම ක්‍රීඩකයා වුණා විතරක් නෙමෙයි තමන් මුහුණ දුන්න පළමු පන්දුවටම 6 පහරක් එල්ල කළා.
2011 වර්ෂයේ මාර්තු මස 27 වෙනිදා බිහාර් ප්‍රාන්තයේ කුඩා ගමක උපත ලබපු සූර්යවංශී කුඩා කාලයේ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන්නේ අසීමිත දක්ෂතාවයක්.
ඔහුගේ පියා සමාජ ශාලාවක සහ වැසිකිලියක මුරකරුවෙක්. කුඩා කාලයේ ඉඳලම පුතාගේ ක්‍රිකට් දක්ෂතා දකින පියා ඔහුට දිගින් දිගටම සවියක් වෙන්න පටන් ගත්තා.
රාත්‍රී කාලයේ සමාජ ශාලාවේ රැකියාව කරපු පියා දහවල වැසිකිලියක් මුර කළා. එතැනින් තමන්ගේ පුතාගේ ක්‍රිකට් ගමනට සවිය දෙන එක නවත්තන්න සූර්යවංශී ගේ පියා හිතුවේ නෑ. ඔහුගේ ක්‍රිකට් වෙනුවෙන් වියදම් කරන්නම තමන්ගේ ඉඩම් පවා විකුණන්න ඔහු කටයුතු කළා.
සූර්යවංශී ගේ පියා කරපු ඒ කැපවීමේ ප්‍රතිඵල ලැබෙන්නේ ඉතාම ඉක්මනින්. ඔහු ඉන්දීය 19 පහළ කණ්ඩායමට තේරෙද්දී වයස අවුරුදු 12 ක් විතරයි.
ඔහු රංජි කුසලානයක් ක්‍රීඩා කරන්නෙත් වයස අවුරුදු 12 න්, බිහාරයේ වයස අවුරුදු 19 න් පහළ තරගයකදී වයිබව් සූර්යවංශී නවතින්නේ ලකුණු 332 ක් ගහලා. ඔහු ඉන්දීය 19 පහළ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා 19 පහළ කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගයකදී පන්දු 58 කින් ශතකයක් වාර්තා කළා.
වයස අවුරුදු 12-13 වගේ වයසක ක්‍රීඩකයෙක් ට මේ දේවල් හොඳටම වැඩියි. BBC මාධ්‍ය ජාලය වාර්තා කරන විදිහට ඉන්දියන් ප්‍රිමියර් ලීගය ආරම්භ වීමෙන් පස්සේ මුම්බායි, දිල්ලි, බැංගලෝර් වගේ ප්‍රධාන නගර වල කේන්ද්‍ර වෙලා තිබුණ ක්‍රිකට් ක්‍රීඩාවේ නවකයන් සොයා යාම ඉන්දීය ගම් දනව් වලට පවා විහිදිලා තියෙනවා.
ඒක ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට විශාල හයියක්. සූර්යවංශී ව පසුගිය IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දියන් රුපියල් කෝටි 1.10 මුදලකට අලෙවි වුණා.
ඔහුව මිලට ගන්නේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමෙන්. ඉඩම් පවා විකුණලා ඉඳපු සූර්යවංශී ගේ පවුලට මේ පුවත දැඩි ආශ්වාදයක් ගෙනාවා කියලා සඳහන් වෙනවා. ඔහුගේ සත්‍ය වයස අවුරුදු 14 ට වැඩි බවටත් කතාබහ පැතිර යනවා.
වරක් සූර්යවංශී ම තමන්ගේ වයස ඊට වැඩි බව පිළිගත්තා. නමුත් උපරිම ඔහු අවුරුදු 16 ක් 17 ක් විය හැකි ක්‍රීඩකයෙක්. වයිබව් සූර්යවංශී ක්‍රීඩා කරන ආකාරය දැක්කම ඔහුගේ වයස අදාල වෙන්නෙම නෑ. ඔහු දක්ෂයෙක් කියලා පේනවා.
ලෝකයක් කතා කරන තැනට ඔහු තමන්ව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔහුගේ මහන්සිය, දක්ෂතාවය සහ පියා කරපු කැපවීම කියන දේට සාර්ථක පිළිතුරු අද වෙද්දි ඔහු ලබාදීලා අවසන්. ඒ කතාවෙන් ආදර්ශයක් ගන්න සූර්යවංශී ගේ වයස අදාල වෙන්නෙම නෑ.
"පුතා ඔලුව උදුම්මවාගන්නෙ නැතුව පොළොවෙ පය ගහලා ඉන්න ඕනි" සූර්යවංශී ගේ පියා කියන්නේ එහෙම, සත්‍ය වශයෙන්ම පියා කියන විදිහට හිටියොත් ඔහුට මේ ක්‍රීඩාව ඇතුළේ දිගු ගමනක් යන්න පුළුවන් වේවි!
