බය වෙන්න එපා මම මැරුණත් උඹලා බේරාගන්නවා - රටට විරුවෙක් අහිමි කළ ලුණුවිල ඛේදවාචකය ගැන ඇහෙන සංවේදී කතාව
ව්‍යසනයක් මැද රටම හඬවමින් වෙන්නප්පුව, ලුණුවිල, කිරිමැටියාන, තුලාවල පාරේ පදිංචිව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් නිර්මාල් අසංක සජිත් සියඹලාපිටිය ( 41 ) එක් දරු පියා පසුගියදා සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් විය.
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් මහා විද්‍යාලයේ දිප්තිමත් ආදි සිසුවෙක් වූ ඔහු එම පාසලේ අධ්‍යාපනය ලබා අනතුරුව 2005 වර්ෂයේ ජුලි 05 දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී ඇත.
එසේම ඔහු 48 වැනි ආධුනික කැඩෙට් නිලධාරි පාඨමාලාව හදාරා ගුවන් නියමු නිලධාරීවරයකු වශයෙන්ම අධිකාරි ලබමින් ගුවන් හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලබා ඇත.
අනතුරුව ගුවන් යානා අංශයේ හෙලිකොප්ටර් උසස් පුහුණු පාඨමාලාව සඳහා බැඳෙන ඔහු බෙල් 206, 212, 412 එම්. අයි. 17 හෙලිකොප්ටර් යානාවල පුහුණුව ලබා 2024 වර්ෂයේ විංග් කමාන්ඩර් නිලයට උසස්වීම් ලබා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටිමින් වැඩිම ගුවන් කාලයක් පියාසර කර ඇති නිලධාරියකු වූ සජිත් නිර්මාල් සියඹලාපිටිය ගුවන් පැය 3,000 කට වැඩි කාලයක් පියාසර කර ඇති පළපුරුදු දක්ෂ ගුවන් නියමුවරයෙක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
එමෙන්ම ඔහු සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන තිබූ අතර, එහි උපාධි ප්‍රදානෝත්සවය සඳහා සූදානමින් සිට් බව ඔහුගේ බිරිඳ සඳහන් කළා.
සිය උපන් ගමේ ජනතාව ගංවතුරට කොටුවී සිටිනු දුටු ඔහු කෙසේ හෝ ඔවුන්ට පිළිසරණක් වීමට ජනතාව වෙනුවෙන් තම රාජකාරිය ඉටුකළත් හදීසියේ හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක් දැනී තිබණේ නොසිතූ ලෙසයි.
එම මොහොතේ සජීවීව දැකිය හැකි දර්ශනවලින් යානයේ කාර්මික දෝෂයකට ලක්ව ඇති බවටත් පාලමත් මහ පාරත් අතර සිටි ජනතාව දෙසට එම යානය කඩා වැටීම වළක්වාලමින් එහි නියමුවා ගිං ඔයට යානය පාත්කරන අයුරුත් දැකගත හැකි විය.
ඔහු වීරයෙක් වන්නේ එබැවින්. යම් හෙයකින් එම යානය ගොඩබිමට කඩා වැටුණි නම් ජීවිත ගණනාවක් විනාශ වීමට ඉඩ තිබූ අතර ඔහු කෙසේ හෝ සිය ජීවිතය පූජා කරමින් ඔහු තම සගයන්ගෙත් අවට මිනිසුන්ගේත් ජීවිත බේරා දී තිබුණී.
ඔහු අවසන් වරට “බය වෙන්න එපා මම මැරුණත් උඹලා බේරාගන්නවා” යනුවෙන් පවසා ඇති බව ආරංචි මාර්ගවලින් පැවසෙන සංවේදී කරුණක් වේ. ඔහුගේ දේහය ඊයේ දින (02) අලුයම ඔහු කුඩා කාලයේ සිට හැඳුනු වැඩුණු මහගෙදරට ගෙනවිත් තිබුණා.
එසේම ඊයේ (02) සවස 2.00 දක්වා දේහය එම නිවෙසේ තැන්පත් කොට තබා පසුව, නිර්මාල් අධ්‍යාපනය ලැබූ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයට ගෙන ගොස් කතෝලික ආගමික කටයුතුවලින් පසුව රත්මලාන ගුවන් හමුදා පාරේ පිහිටි ඔහුගේ නිවෙසට රැගෙනවිත් තිබුණා.
මේ අතර තම ආදරණීය සැමියා ගැන කඳුළින් පිරුණු දෙනෙතින් බුද්ධිකා ලක්මිණි ගුණරත්න කියා සිටියේ,
"මගේ ආදරණීය මහත්තයා අපෙන් වෙන්වීම මට අදහාගත නොහැකි වේදනාවක්. 27 වැනිදා මහත්තයා රාජකාරි කටයුතු සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරට ගෙදරින් පිටත් වුණා. ගියදාම සවස මට කතා කරලා කිව්වා දැන් පුත්තලම පාලවිය පැත්තේ ආපදාවට ලක්වූ අයට සහන සලසනවා කියලා. එයා කවදාවත් ෆ්ලයි කරන වෙලාවට කෝල් ගන්නෙ නෑ. ලෑන්ඩ් කෙරුවාට පස්සේ තමයි ගෙදරට කෝල් ගන්නෙ. කෝල් කරන හැම වෙලාවෙම පුතා ගැන අහන්න අමතක කරන්නෙ නෑ. ඉන් පස්සෙ අපිට කතා කරන්න බැරි වුණා. දුරකථන අවහිරතා තිබෙන නිසා. පළමු වැනිදා රාත්‍රී හතට විතර මට කෝල් එකක් ආවා ලුණුවිල ප්‍රදේශයේ අනතුරක් වෙලා මහත්තයා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණා කියලා. මට අදහගන්නත් බැරුව ගියා. නමුත් මම අද ආඩම්බර වෙනවා මගෙ මහත්තයා රට වෙනුවෙන් මහත් සේවයක් කළා කියලා. ඒ දේ විතරයි සැනසීමකට තියෙන්නේ. එයා 27 වැනිදා කෑම්ප් එකට ගිහින් මට ෆෝන් කෝල් එකක් අරගෙන කිව්වා පුත්තලම පාලවිය ප්‍රදේශයේ අවතැන් වූ මිනිස්සුන්ට ආහාර ගෙනියනවා කියලා. ඊට පස්සෙ දුරකතනය වැඩ කළේ නැහැ. මහත්තය පුතාට හරිම ආදරෙයි. එයා රාජකාරි ඉවර වුණ ගමන් අහන්නෙ පුතා ගැන. අපි ගැන සොයා බලන්නේ එයාගේ රාජකාරිවලට බාධාවක් කරගන්නේ නැතුව. එයා හරිම කැපවීමෙන් රාජකාරිය කළ කෙනෙක්. මගේ මහත්තයා දක්ෂ නිලධාරියෙක් එයාගේ දක්ෂකම් මට වචනයෙන් කියන්න බැහැ.”
එසේම මියගිය ගුවන් හමුදා නියමු නිර්මාල් සියඹලාපිටියගේ මව විශ්‍රාමික බැංකු නිලධාරිනියක වූ විමලා වීරසිංහ සිය පුතුගේ අකල් වියෝව ගැන සඳහන් කළා.
“මේ මගේ දෙවැනි පුතා. එයා ඉස්කෝලේ යන කාලයේ ඉඳලා දක්ෂයි. පාසලේ කීර්තිමත් දරුවෙක්. 2005 දී වගේ ගුවන් හමුදාවට බැදුණා. එයා නිතරම රාජකාරිය වෙනුවෙන් කැපවුණා. ඒත් එයාගේ හදවත් හරියට උණුවෙනවා. කාටත් උදව්වට යන මගේ පුතා මට අහිමි වීම දරා ගන්න බැහැ. එයා අවසන් ගමන් ගියෙත් ගංවතුරින් අවතැන් වෙලා නිරාහාරව සිටි අපේම රටේ ජනතාව අසරණව සිටියදී, එයා ඉපදුනු ලුණුවිල ප්‍රදේශයේම අවතැන් පිරිස් වෙත සරණක් වෙන්න ගිහිං. ඒක අපේ හදවත් තුළ නොමැකෙන සිද්ධියක් වුණා.”
එසේම එම හෙලිකොප්ටර් යානයේ සහායක නියමු පියාසර ලුතිනන් චාමර ඒකනායක වෙන්නප්පුව පොලිසියට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර තිබුණේ, වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ විපතට පත්වුවන්ට පිහිට වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් ඇති වී එය ඔයකට කඩා වැටුණු බවයි. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“අපි ගංවතුරට කොටු වී සිටින සහ කන්න නොමැතිව දින ගණනක් කුසගින්නේ සිටි අයට සහන සලසා දීමේ මානුෂීය මෙහෙයුමක නිරතව සිටියේ බෙල් 12 හෙලිකොප්ටර් යානයෙන්. ගංවතුරට කොටු වී සිටි අය අපි බේරා ගත්තා. හෙලිකොප්ටර් යානයේ නියමුවා වුයේ සියඹලාපිටිය. නිකවැරටිය, මීගමුව, කොච්චිකඩේ, වෙන්නප්පුව, පුත්තලම, හලාවත ප්‍රදේශවල විපතට පත් වූ අයටත් පිහිට වුණා. වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ විපතට පත්වුවන්ට පිහිට වෙමින් සිටියදී හදීසියේම හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක් හටගත්තා. පසුව එය ඔයකට කඩා වැටුණා. අපි ජීවිතය බේරා ගත්තත් විංග් කමාන්ඩර් නියමු සියඹලාපිටියට ජීවිතය බේරා ගන්න බැරිව ගියා. අඩි 20ක් පමණ ගැඹුරට හෙලිකොප්ටර් යානය කඩා වැටී තිබුණා. ඔහු ඉවතට ගන්නා විටත් සිහිය තිබුණේ නැහැ. මම නියමු අසුනේ ෂිට් බෙල්ට් එක ගලවාගෙන පිටතට පැමිණියා. අනෙක් තිදෙනා පිටතට පැමිණ තිබුණා. නියමු සියඹලාපිටිය මහත්තයා පේන්න හිටියේ නැහැ. මමයි කෝප්‍රල් ජයවර්ධනයි කිමිදිලා යානය ඇතුළේ සිරවී සිටි සියඹලාපිටියගේ සීට් බෙල්ට් එක ගලවා ඔහු ඉවතට ගත්තා. ඒ වන විටත් ඔහුට සිහිය තිබුණේ නැහැ. ඒ වෙලාවේ තරුණයින් පිරිසක් ලොකු ලෑලි දෙකක් වතුරට දැම්මා. අපි සියඹලාපිටිය එහි තබාගෙන අරගෙන එද්දී තවත් තරුණයින් පිරිසක් අප දෙසට කඹ විසි කළා. ඒ කඹ දිගේ අපි දෙමහල් නිවසක උඩු මහලකට ගොඩ වුණා. එහිදී ඔහුට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබාදී පසුව 1990 සුව සැරිය ගිලන් රථයකින් මාරවිල මූලික රෝහලට රැගෙන ගියා. ඒ වෙලාවේදී වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා පැවසුවේ සියඹලාපිටිය මිය ගොස් ඇති බව.”
ඒ අනුව ඔහු දියේ ගිලී ආශ්වාස ප්‍රශ්වාස කිරීමට නොහැකිවීමෙන් මරණයට පත්ව තිබෙන බවට මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.එස්.ආර්. වික්‍රමාරච්චි මීගමුව රෝහලේ දී පෙරේදා (01) දින සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
එමෙන්ම තදබල තෙරපීමක් හේතුවෙන් ඉළ ඇට කිහිපයක් බිඳී ගොස් ඇති බවත් සිරුරේ බාහිර තුවාල කිසිවක් නොමැති බවත් එහිදී සඳහන් විය. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 212 හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් කටයුතු කළ විංග් කමාන්ඩර් නිර්මල සියඹලාපිටිය ගෘෘප් කපිතාන් නිලය දක්වා උසස් කළ බවද ඊයේ (02) දින ගුවන් හමුදාව නිවේදන කර සිටියා.
ඔහු සිදුකළ ගෞරවාන්විත සේවය අගයමින් ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා සිට මෙම උසස්වීම ඔහුට ලබාදුන් බව ගුවන් හමුදාව දන්වා ඇත. එසේ රටකට වටිනා වීරයකුගේ කතාව නිමාවට පත්වුණේ සංවේදී හදවත් ඇත්තන්ගේ දෙනෙත්වලට කඳුළු එක් කරමින්.
මේ අතර ඔහුගේ අවසන් කටයුතු හෙට දින(04) සවස 4.00 ට ගල්කිස්ස සුසාන භුමියේදී සිදුකිරීමට නියමිත බව ඥාතීන් සඳහන් කළා.