රතු නිවේදනයක් - කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුද අතිශය රළු වෙයි - යාත්‍රා කිරීම වහාම තහනම්

By Aylin Zoya Jun 07, 2026 03:01 AM GMT
Report

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් මුහුද ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බව අනතුරු අඟවා තිබේ.

මේ අතර, ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි බව සඳහන් වේ.

එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් නාවික හා ධීවර කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

තවද, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් මුහුදු ගමන් සහ ධීවර කටයුතු සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස ද දැනුම් දී ඇත.