ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුත් වැඩක් - සේවාවන් සියල්ල සම්පූර්ණයෙන්ම ඔන්ලයින් වෙයි
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවාවන් වඩාත් කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ ජනතාවට සමීප කිරීමේ අරමුණින් සමස්ත මෙහෙයුම් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව නවීන තොරතුරු තාක්ෂණික විසඳුම් භාවිත කරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම නව පද්ධතිය ඔස්සේ ආයතනික ක්‍රියාවලීන් යාවත්කාලීන වන අතර, මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට වඩාත් පහසුවෙන් හා කඩිනමින් සේවාවන් ලබාගැනීමේ අවස්ථා හිමිවන බව සඳහන්.
එසේම මෙම ඩිජිටල්කරණ වැඩසටහන යටතේ බලපත්‍ර නිකුත් කිරීම, අලුත් කිරීම, ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය සහ තොරතුරු කළමනාකරණය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට පහසුකම් සැලසෙන බව වාර්තා වේ.
තවද විද්‍යුත් පද්ධති හරහා දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබීම හේතුවෙන් රාජ්‍ය ආදායම් කාන්දුවීම් වළක්වා ගැනීමටත්, දෙපාර්තමේන්තු මෙහෙයුම්වල විනිවිදභාවය තහවුරු කිරීමටත් හැකි බව සඳහන්.
මෙම ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් තාක්ෂණික යාවත්කාලීන කිරීමක් පමණක් නොව රාජ්‍ය සේවයේ විශ්වසනීයත්වය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීමට තැබූ තීරණාත්මක පියවරක් ලෙස සළකයි.
ඒ අනුව මෙම නව පද්ධතිය හරහා සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ සේවාලාභීන්ට වඩාත් කඩිනම් සේවාවක් සැපයීමටත්, රාජ්‍ය ආදායම් උපරිම මට්ටමකින් සුරක්ෂිත කිරීමටත් මෙමගින් හැකියාව ලැබෙනු ඇති බවයි.