හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර මැද කිරීමට අවසර
අභාවප්‍රාප්ත හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් උත්තමාචාර සහිතව සිදුකිරීමට තීරණය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ අභාවයකදී හිමිවන සියලුම නිල පොලිස් උත්තමාචාර ඒ මහතා වෙනුවෙන් ද ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
ඒ අනුව හිටපු පොලිස්පතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 20 වැනිදා පොලිස් උත්තමාචාර මධ්‍යයේ සිදුකිරීමට නියමිතය.
දේහය මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, හෙට (19) දිනයේ සිට මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.
මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් 17 වැනිදා උදෑසන සිය නිවසේදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් විය. ඔහුගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බවට සැක කෙරෙන අතර, සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය මූලික සැක පළ කරයි.
කෙසේ වුවද, දේහය සම්බන්ධයෙන් නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ නොකර විවෘත තීන්දුවක් ලබාදී ඇත.
මේ හේතුවෙන් හිටපු පොලිස්පතිවරයාගේ සිරුරේ කොටස් මෙන්ම වෙඩි තබා ගැනීමට යොදාගත් ගිනි අවිය ද වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලීසිය මඟින් මේ පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරන අතර, සිද්ධියට අදාළව ඒ මහතාගේ බිරිඳගෙන් සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන අවසන්ය.