වටලපු නිලධාරිනුත් පුදුම කරමින් හිටපු DIGගේ ඉඩමෙන් හමු වූ දේ - එක් අයෙක් අත්අඩංගුවට
පුත්තලම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් යැයි කියන අට්ටවිල්ලුව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ වනජීවි නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකිදී ගිනිඅවි පතොරම් හා දිවියෙකුගේ සමකින් සකසන ලද අනුරුවක් හා තිත්මුව සමක් සොයාගෙන ඇත.
මෙම වැටලීම සිදුකර ඇත්තේ ගුවන් හමුදා බුද්ධි අවේක්ෂණ නිලධාරීන්ට ලද තොරතුරක් මත කරුවලගස්වැව, රිටිගල, කුරුණෑගල වනජීවි නිලධාරීන් හා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ඒකාබද්ධව බව සඳහන්.
එහිදී අදාළ ඉඩමේ ජීව පතොරම් 09ක් සහ දැඩි ආරක්ෂිත සත්ත්වයෙකු වූ දිවියෙකුගේ සමකින් සම්පූර්ණයෙන් පුරවන ලද අනුරුවක් හා තිත් මුව සමක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.
එසේම වැටලීම සිදුවන අවස්ථාවේදී අදාළ ඉඩම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් බදු පදනම මත ගොවිතැන් කටයුතුවලට ලබා ගෙන වගා කරමින් සිටි අයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් මෙම තැනැත්තා එහිදී කියා ඇත්තේ තමන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙම ඉඩම ගොවිතැන් කටයුතු සඳහා බදු ක්‍රමයට ලබා ගෙන තිබෙන බවයි.
කෙසේ වෙතත් මෙහිදී වනජීවි නිලධාරීන් සඳහන් කළේ නිලධාරීන් භාරයට ගෙන ඇති දිවියෙකුගේ සමකින් සකසන ලද අනුරුව අඩි හයකට ආසන්න විශාල දිවියෙකුගේ බවත් මෙවැනි විශාල දිවියන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා ආසන්න රක්ෂිත තුළ පමණක් දැක ගත හැකි බවත් ය.
ඒ අනුව වනජීවි නිලධාරීන් සඳහන් කරනුයේ මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට මේ වන විට චෝදනා එල්ල වී ඇති සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවීමටද කටයුතු කළ බවයි.
මෙම වැටලීම සිදුකර තිබුණේ පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ, කුරුණෑගල වනජීවි සහකාර අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ, අනුරාධපුර වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. යූ.ඒ. චන්ද්‍රරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත රිටිගල අඩවියේ අඩවි සහකාර ඩී රාමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්.