චෙම්මනි සමූහ මිනීවළ නිරීක්ෂණයට ආ EU නියෝජිතයන් හමුවේ උණුසුම් විරෝධතාවයක්
යාපනයේ චෙම්මනි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවළ ලෙස සැලකෙන ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණි යුරෝපා සංගමයේ (EU) නියෝජිත පිරිසකට ජාත්‍යන්තර මැදිහත්වීමක් සහ වගවීමක් ඉල්ලා විරෝධතාවයක් පැවැත්විණි.
අධිකරණ පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් කැණීම් කටයුතු වල ප්‍රගතිය සහ මේ දක්වා හඳුනාගෙන ඇති සොයාගැනීම් පිළිබඳව EU නියෝජිත පිරිස දැනුවත් කරන ලදී. වාර්තා වන පරිදි, ඊයේ වන විට එම ස්ථානයෙන් මළ සිරුරු 467ක් සොයාගෙන තිබුණි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති යෝගරාසා කනගරංජනී මහත්මිය, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් EU නියෝජිතයන් වෙත ඉදිරිපත් කළාය.
විරෝධතාකරුවන් ශ්‍රී ලංකාවේ දේශීය අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ දැඩි අවිශ්වාසයක් පළ කරමින්, දශක ගණනාවක් පුරා අතුරුදහන්වීම් සම්බන්ධයෙන් සත්‍යය හෙළි කිරීම, යුක්තිය ඉටු කිරීම සහ වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒම ප්‍රමාණවත් ලෙස සිදු වී නොමැති බවට චෝදනා කළහ.
එමෙන්ම, යුරෝපා සංගමයේ GSP+ වෙළඳ සහන පවත්වාගෙන යාමට අදාළ කොන්දේසි අතරට ඇතුළත් මානව හිමිකම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත් කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පැවති මෙම විරෝධතාවයේදී, සත්‍යය, යුක්තිය සහ වගවීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ මැදිහත්වීමක් අවශ්‍ය බව විරෝධතාකරුවෝ අවධාරණය කළහ.