ඉස්සරහට කුප්පි ලාම්පුවේ පිහිටද? විශාල විදුලි අර්බුදයක්
රජය දුන්න ටෙන්ඩර් ගැන විශේෂ හෙළිදරව්වක් කරන පුබුදු ජයගොඩ නුගේගොඩදී පැවති මාධ්‍යය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් ගල් අඟුරු ටෙන්ඩරය නිකුත් කිරීමේදී සිදුවන බරපතළ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කර ඇත.
ඔහු පවසන ආකාරයට,
“ගල් අඟුරු ටෙන්ඩර් නිකුත් කිරීමේ අක්‍රමිකතාවක් ගැන මේ දිනවල සමාජයේ ලොකු කතාවක් ඇති වෙලා තියනවා. තව පැත්තකින් විපක්ෂයේ ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස් වුණේ මෙවැනි වංචාවක් බලාගෙන ඉන්න බැරි නිසා වගේ කතාවක් විපක්ෂයෙන් ප්‍රචාරය කරමින් යනවා. නමුත් අපි හිතනවා ඉල්ලා අස් වුණා කියලා ඔහුට වගකීමෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා අනිවාරෙන් ඔහුට විරුද්ධවත් පරීක්ෂණ දියත් වෙන්න ඕන. ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සාමාන්‍යෙන් ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමේදී ඒ ටෙන්ඩරයට ඉල්ලුම් කිරීම සඳහා සති හයක කාලයක් දෙන්න ඕන. නමුත් මේ ටෙන්ඩරය සඳහා දීලා තියෙන්නේ සති තුනක කලයක්.
මෙහෙම අඩු කාලයක් දුන්නම වෙන්නේ බොහෝ පිරිසකට ටෙන්ඩරය සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව අහිමි වෙලා කලින් සූදානමින් සිටි පුද්ගලයෙක්ට ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගන්න ඉඩ ලැබෙන එක. ඒ නිසා මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ඇතුළේ යම්කිසි ඩීල් එකක් තිබුණද කියන සැකය අපිට මතු වෙනවා. දැන් රජය පැත්තෙන් කරන පැහැදිලි කිරීම තමයි හදිසි අවස්ථාවක් නිසා ටෙන්ඩර් කාලසීමාව අඩු කරන්න වුනා කියන එක.
නමුත් ඒ හදිසි තත්වය මොකක් ද කියලා පැහැදිලි කරලා නෑ. අපි දන්නවා සාමාන්‍යෙන් ලංකාවේ ගල් අඟුරු සඳහා ටෙන්ඩර් කැඳවීම පෙබරවාරි මාර්තු අතර පටන් අරගෙන අප්‍රේල් මැයි අතර කාලයකදි අවසන් වෙනවා. ජූලි මාසේ වගේ වෙද්දී තමයි මෙහෙම ඉල්ලුම් කරන ටෙන්ඩර් අතරින් සමාගමක් තෝරගැනීම කරන්නේ. ඊටපස්සෙ සැප්තැම්බර් මුල වගේ පළමු ගල් අඟුරු තොගය ලංකාවට ගෙන්නනවා. නමුත් මේ සාමානය ක්‍රියාවලියට පිටින් ගිහිල්ලා මේ සැරේ ටෙන්ඩරය නිකුත් කරලා තියෙන්නේම අගෝස්තු මාසේ.
දැන් මේ යන විදිහට සමස්ත ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කර පළමු ගල් අඟුරු තොගය ගොඩබාන්න වෙන්නේ නොවැම්බර් මාසේ විතර. මේ තත්වය නිසා ඉදිරියේදී ගල් අඟුරු හිඟයක් ඇති වෙන්න නියමිතයි. දැන් මේක නිසා ජනතාවට ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න වෙනවා. එකක් තමයි වැඩි හදිසියේ ගල් අඟුරු මිලදී ගැනීමේදී වැඩි මිලට ගන්න වුනොත් ඒකෙ වන්දිය නැවත ගෙවන්න වෙන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට. ඒ කියන්නේ නව විදුලි බිල වැඩි වීමක් වෙන්න පුලුවන්. දෙවෙනි එක තමයි ගල් අඟුරු හිඟයක් එක්ක ඔක්තෝබර් නොවැම්බර් වෙද්දි වැස්සත් අඩු වුණොත් විදුලි කප්පාදුවක් ඇති වෙන්න තියෙන ඉඩත් වැඩියි. මෙවැනි ප්‍රශ්න ගණනාවක් වෙනවා කියලා දැන දැනම ඇයි ආණ්ඩුව ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රමාද කලේ ? රටේ ගල් අඟුරු හිඟයක් ඇති වුනොත් ඩීසල්වලින් ක්‍රියාත්මක වෙන පෞද්ගලික විදුලිබලාගාර හිමියන්ගේ කල්ල මරේ.
එතකොට ඔවුන්ගේ සාක්කු පුරවන අරමුණින් හිතාමතාම ටෙන්ඩරය ප්‍රමාද කලාද කියන සැකයත් අපිට මතු වෙනවා. මොකද කුමාර ජයකොඩි ඇමතිවරයට විරුද්ධව දැනටමත් වංචා දූෂණ චෝදනා ගණනාවක් තියනවා. අනිත් බරපතළම කාරණය තමයි මේ ගල් අඟුරු ටෙන්ඩරය Panacape කියන සමාගමට ලබාදීමේ කුමන්ත්‍රණයක් මේ සමස්ත ක්‍රියාවලිය පිටුපස හැංගිලා තියනවා.
මේ සමාගම අයිති රුවන් ප්‍රනාන්දු කියන පුද්ගලයට. ඔහුව තමයි මේ ආණ්ඩුවෙන් හිල්ටන් එකේ සභාපති බවට පත් කලේ. හාස්‍යජනකම කාරණය තමයි පහුගිය කාලේ ආණ්ඩුව ලොකුවට කතාකරපු උගන්ඩාවට සල්ලි යැව්වා කියන ගුවන් යානය සඳහා අනුග්‍රහය ලබාදීලා තියෙන්නේ මේ රුවන් ප්‍රනාදුට සහ කනනාදන් කියන පුද්ගලයට අයිති මේලීන් කියන සමාගම.
දැන් රාජපක්ෂලාගේ හොරකම් ගැන ලොකුවට කතාකරපු ආණ්ඩුව ඒ රාජපක්ෂලා එක්ක ඩීල් එකක හිටපු රුවන් ප්‍රනාන්දුව ගජ මිතුරා කරගෙන. අපි හිතනවා මේක ආණ්ඩුවේ දේශපාලන සදාචාරය ගැන බරපතළ ප්‍රශ්නයක්. ඊටත් වඩා ලංකාවේ ජනතාවගේ අවශ්‍යතා ගැනවත් නොහිතා එක පුද්ගලයෙක්ගේ මල්ල පුරවන්න සමස්ත විදුලිබල පද්ධතියම අර්බුදයට යැවීමක්. ඒ නිසා ආණ්ඩුව වහාම මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුයි. ”