නැඟෙනහිර පර්යන්තය ඉවතට? – වරාය වෘත්තීය සන්ධානයෙන් චෝදනා
නැඟෙනහිර පර්යන්තය ස්වභාවිකව අක්‍රිය වීමට නියමිත තත්ත්වයකට පත්කරමින් සිටින බවත්, මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ විධායක නිලධාරියෙකුගේ ක්‍රියාකලාප සෘජුවම බලපා ඇති බවත්, වරාය වෘත්තීය ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමල් සුමනරත්න මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම තත්ත්වය පිළිබඳව වරාය අධිකාරිය භාර අමාත්‍යවරයාට වරින් වර මුලු වාර 6ක්ම දැනුම් දීමට උත්සාහ දැරූවත් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ, “ජනාධිපතිවරයා මේ මස 30 වැනිදා නැඟෙනහිර පර්යන්තය විවෘත කරන බව ප්‍රකාශ කළා. නමුත් එම තොරතුරු වැරදි. සැබෑ තත්ත්වය වන්නේ, විවෘත කිරීම සඳහා තවත් වසර එකහමාරක් පමණක් ගතවිය යුතු බවය. ඉදිකිරීම් නතරවෙලා, ව්‍යාපෘතිය පරිපූර්ණ අක්‍රිය තත්ත්වයකට පත්වී ඇත.
” ශ්‍යාමල් සුමනරත්න මහතා සඳහන් කළේ, පර්යන්තය සඳහා අත්‍යවශ්‍ය උපකරණවලින් එකක් වන ස්ට්‍රැඩල් කැරියර් (Straddle Carrier) මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩරය මාස 8කට පමණ පෙර අහෝසි කර ඇති අතර, මෙතෙක් නව ටෙන්ඩරයක් ද කැඳවී නොමැති බවය. “නව ටෙන්ඩරයක් කැඳවුණත් ඒ උපකරණ ගෙන්වන්න වසරකට වඩා යනවා. අපට සැකයි.
මෙය විශේෂයෙන්ම අනිත් පර්යන්තවලට වාසි ලබාදීමේ උත්සාහයක්ද කියලා.” තවද, ඔහු පෙන්වා දුන්නේ වෘත්තීය නායකයන් විසින් මෙම කරුණු සමාජයට හෙළි කළ විට විවිධ විරෝධතා, චෝදනා, ස්ථාන මාරු වැනි පීඩනයට ලක්කරන බවයි.
“අපි මේ තත්වය මුලින්ම අමාත්‍යවරයාට කියන්න උත්සාහ කළා. ලිපි 6ක්වත් යවා තියෙනවා. ඒකට එක ප්‍රතිචාරයක්වත් නැහැ. ඒ නිසයි මේක රටට කියන්නේ. අපේ රැකියා අහිමි වුණත්, වරාය බේරාගන්න අපි තවදුරටත් ක්‍රියා කරනවා.”
