නැගෙනහිර මුහුදු තීරය දින 365ම සංචාරක කලාපයක් කිරීමට නව වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වසරේ දින 365 පුරාම සංචාරකයින් ආකර්ෂණය කරගන්නා කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.
එහි එක් පියවරක් ලෙස, මෙතෙක් සංචාරක කර්මාන්තය තුළ ප්‍රමාණවත් ලෙස භාවිතයට නොගත් ආරුගම්බේ ‘එලිෆන්ට් රොක්’ ප්‍රදේශය සංචාරක ආකර්ෂණයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක් පැවැත්විණි.
එම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, අම්පාර දිස්ත්‍රික් නායකත්වය දරන නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ආරුගම්බේ ප්‍රදේශය සර්ෆින් ක්‍රීඩාව සඳහා පමණක් ප්‍රසිද්ධ ස්ථානයක් ලෙස නොව, නැගෙනහිර පළාත පුරා පැතිරුණු විවිධ සංචාරක අත්දැකීම් ලබාගත හැකි වසර පුරා ක්‍රියාත්මක සංචාරක කලාපයක් බවට පත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.
මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ හෝටල් ආයෝජකයින් සම්බන්ධ කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.
මේ වන විට ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රදේශවාසීන් විසින් විවිධ ක්‍රියාකාරකම් සිදුකරමින් සිටින නමුත්, මාර්ග, විදුලිය, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම රජයේ වගකීමක් බවද මෙහිදී අවධාරණය කර තිබේ.
ඒ අනුව, නැගෙනහිර පළාත ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇත.