“අපේ සහෝදරවරු හය දෙනෙක් අත්අඩංගුවට අරගෙන,මේක තමයි පරණ ආණ්ඩුත් කළේ” - දුමින්ද නාගමුව ආණ්ඩුවට චෝදනා කරයි [VIDEO]
ඊයේ කොළඹදී ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වූ උද්ඝෝෂණයට එක්වූ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ජන අරගල ව්‍යාපාරය විසින් අද (04) පෙරවරු 10.00ට නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.
එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික දුමින්ද නාගමුව.
" බදු බර සහ ජීවන වියදම් ජනතාවට දරාගන්න බැරි විදිහට ඉහළ යාමට විරෝධය පල කරලා තමයි ජන අරගල ව්‍යාපාරය විදිහට අපි ඊයේ දවසේ විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කළේ. ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට ආණ්ඩුව අපේ සහෝදරවරු හය දෙනෙක් අත් අඩංගුවට අරගෙන ඉතාම පහත් මර්දනයක් ක්‍රියාත්මක කරමින් යනවා. මේක තමයි පරණ ආණ්ඩුත් කළේ. මිනිස්සු තමන්ගේ ප්‍රශ්න අරගෙන පාරට ආවම උද්ඝෝෂණ කළා කියලා ඇතුළට දානවා. හැබැයි ආණ්ඩුවට අමතක වෙලා ඉස්සරත් එහෙම මර්දනය ක්‍රියාත්මක කරන්න උත්සහ කරපු අයට මොකද වුණේ කියලා. ඒගොල්ලන්ට අන්තිමට පස්ස දොරෙන් පැනලා යන්න වුණා. ජනතාව එකතුවෙලා ඔවුන්ගේ දේශපානලනය අවලංගු කළා. දැනට මේ ආණ්ඩුව අයුතු ජන රාශිය වගේ චෝදනා වලින් තමයි උද්ඝෝෂණ මර්දනය කරන්නේ. හැබැයි මෙතන තියෙන භයානකම දේ තමයි ඉදිරියේදී සම්මත කරන්න නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත. මේ පනතෙන් පුලුවන් උද්ඝෝෂණයක් කරන්නත් කලින් ත්‍රස්තවාදී ක්‍රියා විදිහට නම් කරලා උද්ඝෝෂණ තහනම් කරන්න, සංවිධාන තහනම් කරන්න. පුද්ගලයින් අත් අඩංගුවට අරගෙන රඳවා තබාගන්න. ඉස්සර ආණ්ඩු උද්ඝෝෂණවලට පහරදීලා මර්දනය කළා. දැන් ජාජබ ආණ්ඩුව සූදානම් වෙනවා විරෝධය දක්වන්නේ ත්රස්තවාදීන් කියලා හංවඩු ගහලා මර්දනය කරන්න. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්. මේ රටේ ප්රජාතන්ත්රවාදයට ලැදි සියලුදෙනාටම අපි කියනවා මේ තුච්ඡ වැඩපිළිවෙළට එරෙහිව නැගී සිටින්න කියලා. අපි ජන අරගල ව්‍යාපාරය විදිහට ඊයෙ මහපාරට ආවේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් විසඳගන්න.
''මේ ජීවන බර තවදුරටත් දරා ගන්න බැහැ. ඒ නිසා ජඩ බදු බර අඩු කරපල්ලා'' - ජන අරගලය ව්‍යපාරයේ ළහිරු විරසේකර අණ්ඩුවට තදින්ම අමතයි
මේ වෙද්දි අධික බදු බර සහ ජීවන වියදම ඉහළ යාම ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙලා ඉවරයි. ඩඩ්ලිට නම් බදු ගෙවන්න බැරි නම් හරි වෙන ප්‍රශ්නයක් හරි නම් ලාල්කාන්තට එක කෝල් එකයි දෙන්න තියෙන්නේ. එහෙමත් නැත්තම් එයා කියනවා අර පොළොන්නරුවේ ඉන්න රාජ්‍ය නායකයද කවුද එක්කෙනා එයාට හැමවෙලාවෙම කෝල් ගන්නවා කියලා. හැබැයි රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට තමන්ගේ බත් පතේ ප්රශ්නය, දරුවගේ අධ්‍යාපන වියදම් දරාගන්න බැරි ප්රශ්නය, රෝහලට ගියාම බෙහෙත් ටික නැති ප්රශ්නය එහෙම ඇමතිවරුන්ට කතාකරලා කියන්න හැකියාවක් නැහැ. ඒ නිසයි අපි ඒ ප්රශ්නය දේශපානලන භාෂාවට පෙරළන්නේ. මොකද තමන්ගේ ආර්ථික ප්රශ්නය දේශපානලන භාෂාවට පෙරලගන්න බැරි වුණොත් මිනිස්සු ඊටපස්සෙ යන්නේ වෙන වෙන උත්තර හොයාගෙන. ඊටපස්සෙ තමයි මිනිස්සු හොරකම් කරන්න විවිධ වංචා කරන්න පෙළඹෙන්නේ. සමහරු සියදිවි හානි කරගන්නවා. වාර්තාවලට අනුව අම්මල ලක්ෂයක් විතර වඳ භාවයට පත් වෙලා තියනවා. ඇයි ඒ ? හේතුව තමයි ළමයෙක් උස්මහත් කරගන්න තරම් ආර්ථිකේ ශක්තියක් නොමැතිකම. අද රටේ ගොඩක් තරුණ තරුණියෝ උදේට එක රැකියාවක් කරලා රෑට තව රැකියාවකට යනවා. මොකද එක රස්සාවකින් ජීවත් වෙන්න පුලුවන් කමක් නැහැ. මේ ප්‍රශ්නවලට මූලිකම හේතුවක් තමයි මේ අධික බදු බර. බදු නෙමෙයි ඇත්තටම රාජපක්ෂලාගේ බිල තමයි අපිට මේ ගෙවන්න වෙලා තියෙන්නේ.
මහාපරිමාණ සමාගම් රජයට තියපු බිලියන ගණං බදු පොලු වල පාඩුව තමයි අද බදු විදිහට ඇවිල්ලා අපේ සාක්කු හිස් කරන්නේ. මේ ආණ්ඩුව බලයට එනකොට කිව්වේ නම් අපි මේ ප්‍රශ්නවලට ජනතාවගේ පැත්තෙ ඉඳන් උත්තර හොයනවා කියලා. හැබැයි මේගොල්ලන්ට රනිල්ගේ පාර හැර වෙන පාරක් පේන්නෙ නැහැ. මේ ආණ්ඩුවට IMF එක හැර වෙන විකල්ප පේන්නෙ නැහැ. IMF උවමනාවන්ට අනුව රනිල් ගහපු 18% වැට් බද්ද තවම මේගොල්ලො පවත්වාගෙන යනවා. ගිය අවුරුද්දේ මුල් මාස හයට වඩා මේ අවුරුද්දේ මුල් මාස හයේ ආණ්ඩුව 25%ක් වැඩියෙන් බදු එකතුකරගෙන තියනවා. මේ හූරගන්නේ පොඩි මිනිහගේ සාක්කුවේ තියෙන සල්ලි. අර මහාපරිමාණ ධනකුවේරයන්ගෙන් එක සතයක් ගන්නේ නැහැ. දැන් ඒ මදිවට බලු බද්දකුත් ගේන්න යනවා. මේක මෙතනින් නවතින්නෙ නැහැ පලාත් පාලන ආයතනවලට වෙන් කරන ප්‍රතිපාදන 20%කින් ගිය අවුරුද්දේ කැපුවා මේ සල්ලි එකතුකරගන්න ඒ ආයතන ඉස්සරහට තව බදු ක්‍රම හඳුන්වා දෙන්න නියමිතයි. මේ ඔක්කොම එන්නේ සාමාන්යෙ ජනතාවගේ කරපිටට. ඒ නිසා තමයි අපි ජන අරගල ව්‍යාපාරය විදිහට මේ අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව මහජන බලයක් ගොඩනගන්න උත්සහ කරන්නේ. ආණ්ඩුව හිතනව නම් මර්දනය කරලා ඒ මහජන බලය යට යවන්න පුලුවන් කියලා අපි කියනවා ඔවුන්ට අතීතය මතක් කරගන්න කියලා.