බඳිනවා නම් අවු 21 සම්පූර්ණ වීම අනිවාර්යයි - ඩුබායිවල විවාහ ලියාපදිංචිය සහ පුද්ගලික ණය සම්බන්ධ දැඩි නීතියක්
ඩුබායි රාජ්‍යයේ වාසය කරන මුස්ලිම් නොවන විදේශිකයන්ගේ විවාහ ලියාපදිංචිය සහ ඔවුන් ලබාගන්නා පුද්ගලික ණය සම්බන්ධ නීතිමය ක්‍රියාපටිපාටි පිළිබඳව පැහැදිලි නියාමනයක් පවතින බව වාර්තා වේ.
ඒ අනුව, 2022 අංක 41 දරන මුස්ලිම් නොවන පුද්ගලික නීතිවලට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිවිල් විවාහයක් සිදු කරගැනීමට අපේක්ෂා කරන යුවළක් වයස අවුරුදු 21 සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වන බව සඳහන්.
එසේම මෙම ක්‍රියාවලියේදී මනාලයා සහ මනාලිය අදාළ සහතික කිරීමේ විනිසුරුවරයා ඉදිරියේ තමන්ගේ කැමැත්ත පැහැදිලිව ප්‍රකාශ කළ යුතු වන අතර විශේෂිත හෙළිදරව් කිරීමේ පෝරමයකට අත්සන් තැබිය යුතු බව පවසයි.
එමෙන්ම විවාහය පවතින කාලය තුළ මෙන්ම දික්කසාදයකින් අනතුරුව දරුවන්ගේ අයිතිවාසිකම් සහ රැකවරණය සම්බන්ධයෙන් කොන්දේසිවලට එළඹීමට මෙහිදී දෙපාර්ශවයටම නීතිමය ඉඩකඩ සලසා දී ඇත.
යම් ලෙසකින් මීට පෙර විවාහ වී ඇත්නම්, එම දිනයන් සහ තොරතුරු අනිවාර්යයෙන්ම අනාවරණය කළ යුතු අතර, පිරිමි පාර්ශවයේ මව් රටෙහි නීතියට අනුව බහු විවාහ සඳහා අවසර නොමැති නම් ඒ බව ද විනිසුරුවරයා හමුවේ ප්‍රකාශ කළ යුතු බව සඳහන්.
තවද පුද්ගලික තත්ත්ව අධිකරණයට පරිබාහිරව, ඩුබායි ප්‍රජා සංවර්ධන අධිකාරිය මඟින් අනුමත කරන ලද පල්ලි, හින්දු කෝවිල් හෝ ගුරුද්වාර වැනි ආගමික ස්ථාන ඔස්සේ මෙන්ම, අදාළ පහසුකම් සපයන්නේ නම් තම මව් රටේ තානාපති කාර්යාලය ඔස්සේ ද විවාහ කටයුතු සම්පූර්ණ කරගැනීමට මුස්ලිම් නොවන විදේශිකයන්ට විකල්ප අවස්ථාවන් හිමි වන බව වාර්තා වේ.
එමෙන්ම මූල්‍යමය නීති රාමුව දෙස බැලීමේදී, විදේශිකයන් විසින් ලබාගන්නා පුද්ගලික ණය සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පවතින්නේ දැඩි නීතිමය පසුබිමක් බවත් වාර්තා වේ.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව මඟින් අනුමත කරන ලද සම්මත ණය ගිවිසුම්වලට අනුව, ණයගැතියෙකු තම මාසික වැටුප සහ සේවා කාලය අවසානයේ හිමිවන ප්‍රතිලාභ ණය ලබාදුන් බැංකුවේ ගිණුමකට බැර කිරීමට එකඟතාවය පළ කළ යුතු වේ.
යම් ලෙසකින් සේවාදායකයාගේ රැකියාව අහිමි වුවහොත් හෝ සේවා ගිවිසුම අවසන් වුවහොත්, ඉතිරි වී ඇති සම්පූර්ණ ණය මුදල වහාම යළි අය කර ගැනීමේ අයිතිය ණය ලබා දුන් මූල්‍ය ආයතනය සතු බව වාර්තා වේ.
එවැනි තත්ත්වයක් යටතේදී, රැකියාවෙන් ඉවත් වන අවස්ථාවේ ලැබෙන දීමනා අදාළ බැංකු ගිණුමට බැර වූ වහාම, ගනුදෙනුකරුවාට එම ගිණුමෙන් මුදල් ආපසු ගැනීම වැළැක්වීමට ගිණුම තාවකාලිකව අත්හිටුවීමට බැංකුවට සම්පූර්ණ නීත්‍යානුකූල බලයක් ඇති බවත් සඳහන්.