"ගෙවල්වලට ගහන්න කිව්වේ ලිපිනයක් නැති අය, බැටකෑවේ අපි" - අරගල සමයේ සාගර කළ ප්‍රකාශ ගැන දොලවත්ත හෙළි කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් දිලිත් ජයවීර මහතා සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශය දෝෂාරෝපණයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා අදහස් පළ කර තිබේ.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙවැනි ප්‍රකාශ හේතුවෙන් දේශපාලන පක්ෂ අතර පවතින සමගිය නිරන්තරයෙන් බිඳ වැටෙන බවයි. සාගර කාරියවසම් මහතාගේ දේශපාලන හැසිරීම විවේචනය කරමින් ඔහු පැවසුවේ, පසුගිය රජය සමයේද සන්ධානය තුළ ගැටලු ඇති කිරීමට ඔහු කටයුතු කළ බවයි.
“සාගර කාරියවසම් මහතාගේ තත්ත්වය හැමදාමත් ඔහොමයි. ඔහු නිතරම සමගිය කඩනවා. අපේ ආණ්ඩුව ඇතුළේ මුලින්ම උදය ගම්මන්පිල මහතාට බැණ වැදුණෙත් ඔහුමයි.. අරගල සමයේදී ගෙවල්වලට ගැහුවොත් අපිත් ගහනවා කිව්වෙත් ඔහුමයි.. ඔහුගේ නිවස කොහේද කියලා ජනතාව දන්නේ නැහැ. නමුත් පරම්පරා ගණනාවක් ජනතාව හඳුනන අපේ වගේ අයගේ නිවෙස්වලට ප්‍රහාර එල්ල වුණා”
යන ප්‍රකාශයද ඔහු සිහිපත් කළ අතර, මහලේකම්වරයාගේ නිවස පිළිබඳ තොරතුරු ජනතාව නොදන්නා පසුබිමක මෙවැනි ප්‍රකාශ හේතුවෙන් සැබෑ දේශපාලනඥයන් පීඩාවට පත් වූ බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම අනුර කුමාර දිසානායක මහතා 3%ක ප්‍රතිශතයක සිට ජනාධිපති ධුරයට පත්වූ බව සිහිපත් කරමින්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ සජිත් ප්‍රේමදාස වැනි දේශපාලන නායකයන්ටද එවැනිම අවස්ථා ඇති බව කාටවත් අමතක කළ නොහැකි බව ඔහු සඳහන් කළේය.
අවසාන වශයෙන් ඔහු කියා සිටියේ, විපක්ෂය එක්ව කටයුතු කළ යුතු මොහොතක මෙවැනි නොමේරු දේශපාලන හැසිරීම් සහිත පුද්ගලයන් පක්ෂවල වගකීම් දැරීම අභාග්‍යයක් බවයි.