ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකාව පුරා ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මාරුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශ්වකරුවන් එක්ව ගත් තීරණයකට අනුව, 2026 මැයි 1 වැනිදා සිට රක්ෂණ ආයතන මගින් සාම්ප්‍රදායික මෝටර් රථ රක්ෂණ සහතික වෙනුවට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ .
එමෙන්ම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින්ද එම මණ්ඩලය යටතේ ඇති වාහන සඳහා 2026 ජූලි 20 වැනිදා සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීමට පියවර ගෙන ඇත මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇති අතර, දිවයින පුරා සියලුම පොලිස් ස්ථාන වෙත අවශ්‍ය උපදෙස් සහ නියෝග ලබාදී ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.
ඩිජිටල් රක්ෂණ කාඩ්පත ලබාගන්නේ කෙසේද? සාමාන්‍ය රක්ෂණ සමාගම් මගින් ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පතක් ලෙස හෝ ජංගම දුරකථන යෙදුමක් හරහා රක්ෂණ කාඩ්පත ලබාගත හැකියි. රක්ෂණ හිමියාගේ ඉල්ලීම මත මුද්‍රිත රක්ෂණ සහතිකයක්ද ලබාගත හැකි බව පොලිසිය පවසනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය යටතේ ඇති වාහන සඳහාද ඩිජිටල් රක්ෂණ කාඩ්පතක්, මුද්‍රිත සහතිකයක් හෝ ජංගම දුරකථනයට ලැබෙන QR කේතයක් සහ URL ලිපිනයක් ඔස්සේ ඩිජිටල් කාඩ්පත ලබාගත හැකියි.
රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කරන්නේ මෙහෙමයි ඩිජිටල් රක්ෂණ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය හඳුන්වා දී තිබේ.
සාමාන්‍ය රක්ෂණ සමාගම්වල රක්ෂණ ප්‍රතිපත්ති සඳහා *1338# ඔස්සේ රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කළ හැකියි. ඒ සඳහා ඕනෑම ජංගම දුරකථනයකින් *1338# අමතා වාහන අංකය හෝ රක්ෂණ ඔප්පු අංකය ඇතුළත් කළ යුතු අතර, එවිට අදාළ රක්ෂණයේ වත්මන් තත්ත්වය ක්ෂණිකව ලබාගත හැකියි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ සඳහා *1918# ඔස්සේ එම ක්‍රියාවලිය සිදුකළ හැකියි. SMS මගින්ද රක්ෂණය පරීක්ෂා කළ හැකියි 1338 වෙත SMS පණිවිඩයක් යොමු කිරීමෙන් සාමාන්‍ය රක්ෂණ සමාගම්වල රක්ෂණ ප්‍රතිපත්තිවල වලංගුභාවය පරීක්ෂා කළ හැකියි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ප්‍රතිපත්ති සඳහා 1918 වෙත SMS පණිවිඩයක් යොමු කළ හැකියි. එමෙන්ම 1338 හෝ 1918 යන අංකවලට ඇමතීමෙන් පාරිභෝගික සේවා නිලධාරියෙකු හරහාද රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරගත හැකියි.
මෙම කෙටි දුරකථන අංක වෙත සිදුකරන ඇමතුම් සහ SMS සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවද පොලිසිය සඳහන් කරනවා. වාහන අංකය ඇතුළත් කිරීමේදී සැලකිලිමත් වන්න 1338 සේවාව භාවිත කිරීමේදී වාහන අංකයේ මුල් අකුරු හෝ ඉලක්කම්, කෙටි ඉර සහ අංක හතර ඇතුළත් කළ යුතු අතර, කිසිදු හිස්තැනක් නොතැබිය යුතුයි.
වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - මාස 3කට සැරයක් මේ පරීක්ෂණය අනිවාර්යයි - සැප්තැම්බර් 19 පසු නීතිය දැඬි වෙයි
“ශ්‍රී” යන අක්ෂරය වෙනුවට SRI යන්න භාවිත කළ යුතුයි.
උදාහරණ: 311-1234, CC-1234, CCC-1234, 1-SRI-1234 1918 සේවාව සඳහා පළාත් අක්ෂර ඇතුළත් නොකළ යුතු අතර, “ශ්‍රී” යන්න වෙනුවට කෙටි ඉර භාවිත කළ යුතුයි. උදාහරණ: CC-1234, CCC-1234, 123-4567, 1-1234 අනතුරකදී මුද්‍රිත පිටපතක් ලබාගත හැකියි රිය අනතුරක් සම්බන්ධ පොලිස් විමර්ශනයකදී රක්ෂණ සහතිකයේ මුද්‍රිත පිටපතක් අවශ්‍ය වුවහොත්, අදාළ රක්ෂණ සමාගමෙන් එය ඉල්ලා ලබාගත හැකියි.
එමෙන්ම රක්ෂණ සමාගමේ ජංගම යෙදුම හරහා ලබාදී ඇති ඩිජිටල් කාඩ්පත මුද්‍රණය කරගැනීමටද හැකියාව ඇත කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් අදාළ දත්ත පද්ධතියට පිවිස රක්ෂණ ඔප්පුවේ පිටපතක් බාගත කරගත හැකියි. පැරණි රක්ෂණ සහතිකත් තවමත් වලංගු වේ 2026 මැයි 1 වැනිදා සහ ජූලි 20 වැනිදා සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කළද, එම දිනවලට පෙර නිකුත් කළ භෞතික රක්ෂණ සහතික ඒවායේ සඳහන් වලංගු කාලය අවසන් වන තෙක් වලංගුව ඇත .
එමෙන්ම තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීමද මේ වනවිට තවදුරටත් සිදුකරන අතර, ඒවාද දැනට පවතින ක්‍රමවේදය අනුව වලංගු බව පොලිසිය සඳහන් කර තිබේ.
මෝටර් වාහන පනතේ 104(1) වගන්තිය අනුව රියදුරන් තම රක්ෂණ සහතිකය පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කිරීමට වගකීමෙන් බැඳී සිටිනු ලබයි
ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට නොහැකි අවස්ථාවකදී, පොලිස් නිලධාරීන්ට 1338 හෝ 1918 සේවා ඔස්සේ හෝ SMS මගින් අදාළ රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරගත හැකි බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දී තිබේ
2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ II වන පරිච්ඡේදයේ 3 වන වගන්තිය අනුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත්වල නීතිමය පිළිගැනීම, බලපෑම හෝ වලංගුභාවය ප්‍රතික්ෂේප කළ නොහැකි බවද නිවේදනයේ සඳහන් වේ.