රෝගය උත්සන්න වේ රෝගීන් විශාල ප්‍රමාණයක් සමඟ රෝහල් ධාරිතාවය ඉක්මවයි
බස්නාහිර පළාතේ පවතින රෝහල් රැසක් මේ වන විට ඩෙංගු රෝගීන්ගෙන් උපරිම ධාරිතාවයට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
එහි වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඔවුන් රැක බලා ගැනීමේ කටයුතු ද දැඩි අසීරුතාවයකට හා අවදානමකට ලක්ව ඇති බවය.
රෝගීන් වාර්තා වීම මෙලෙස ඉහළ යාම හේතුවෙන් ඊට සමානුපාතිකව ඉදිරියේදී මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.
දැනට දිවයිනෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් 59,638 දෙනාගෙන් 52.4%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බව වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළේය.
රෝහල් විශාල සංඛ්‍යාවක් උපරිම ධාරිතාවට පැමිණ සමස්ත රෝහල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින්, පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් කොටස් තුනක සැලසුමක් සකස් කර ඇති අතර මේ මොහොතේදී කෙටිකාලීන හදිසි (Emergency) පියවරයන් ක්‍රියාවට නැංවීමට මූලිකත්වය දී ඇති බව ද ඔහු අවධාරණය කළේය.
මේ යටතේ බස්නාහිර පළාත තුළ වැඩිම රෝගී ප්‍රතිශතයක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් තෝරාගෙන, එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සතියක් පුරා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
එම සතිය අවසානයේදී එහි ප්‍රගතිය සමාලෝචනය කර, ඒ අනුව මෙම වැඩසටහන ඉදිරියට ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද වැඩ බලන අධ්යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.