ඩෙංගු රකුසා ජීවිත 50ක් බිලිගනී - අවදානම තවදුරටත් වැඩියි
මෙම වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000 ඉක්මවා ගොස් ඇති අතර මරණ 50ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකයේ නවතම දත්ත අනුව ඊයේ (16) වන විට ඩෙංගු රෝගීන් 73,455ක් වාර්තා වී ඇති අතර, එම රෝගය හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබේ.
ඊයේ දිනයේ පමණක් නව ඩෙංගු ආසාදිතයන් 1,025 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද සඳහන් වේ.
වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එහි සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38,700කි.
බස්නාහිර පළාත තුළ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එහි රෝගීන් සංඛ්‍යාව 15,341ක් ලෙස දැක්වේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 14,625ක් වාර්තා වී තිබේ.
මේ අතර, ජූලි මාසයේ ගතවූ පළමු දින 16 තුළ පමණක් ඩෙංගු රෝගීන් 18,076ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වසර තුළ එක් මාසයකදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 21,538ක් ලෙස සටහන් වී තිබේ.