දඹදිව වන්දනාවේ යන්න බලන් හිටපු අයට නරක ආරංචියක් - මේ වීසා පහසුකම් නතර වෙයි
දඹදිව වන්දනාකරුවන් වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලබාදී තිබූ මසක සහන වීසා පහසුකම් මේ වනවිට නතර කර තිබීම නිසා දඹදිව වන්දනාකරුවන් මෙන්ම මෙරට විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ද අසීරුතාවකට පත්ව ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉකුත් 14 වැනිදා බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
"දඹදිව වන්දනාකරුවන් සඳහා ඉන්දීය රජය දීර්ඝ කාලයක් තිස්සේ නිදහස් වීසා බලපත්‍ර ලබා දුන්නා. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි විදෙස් බෞද්ධ චාරිකා සංවිධායකයන් වන්දනාකරුවන්ගේ ලියකියවිලි රැගෙන ආ විට වීසා බලපත්‍ර ලබා ගැනීමට හැකියාව තිබුණා. එහෙත් දැනට මාස තුන හතරක කාලයක ඉඳලා නිදහස් සහන වීසා නිකුත් කිරීම සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා. ඒ වෙනුවට සාමාන්‍යයෙන් ඉන්දියාවට යන කෙනෙකු මෙන් වන්දනාකරුවන්ද තමාම කොළඹට පැමිණ වීසා ලබා ගත යුතුයි. සහන ක්‍රමය යටතේ තිබූ රුපියල් 3875ක වීසා ගාස්තුව වෙනුවට මේ තත්ත්වය හමුවේ රුපියල් 9850 ගෙවීමට සිදුවෙලා. අනෙක් ගැටලුව වෙනදා මුළු කණ්ඩායම වෙනුවෙන් චාරිකා සංවිධායකයන් වීසා බලපත් ලබාගෙන ගියා."
එමෙන්ම හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ දිනෙන් දින ඉහළ යන වියදම් හමුවේ මේ වන විට දඹදිව වන්දනා ගමන් අතහැර දමා ඇති බැවින් බෞද්ධ චාරිකා සංවිධායක ආයතනවල සේවකයන්ගේ රැකියා පවා අර්බුදයක පවතින බවය.
එබැවින් ඉන්දියානු ජාතිකයන් සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදී ඇති පසුබිමක මෙරට දඹදිව වන්දනාකරුවන් සඳහා මසක සහන වීසා පහසුකම් ලබා ගැනීමට රජය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.