ආපදා මරණ හතක් දක්වා ඉහළට..! නවතම තත්ත්වය මෙන්න..

Sri Lanka Climate Change Landslide In Sri Lanka Weather
By Sewvandhi Oct 08, 2023 08:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බවයි.

ආපදා තත්ත්වයෙන් දිස්ත්ක්ක 13කට බලපෑම් එල්ල වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.අද (08) පෙරවරුවේ මාතර දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටි බව වාර්තා වනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා,

"ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය සැප්තැම්බර් 26 වන දින සිට මේ දක්වා ඇදහැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් පවුල් 3,500කට අයත් පවුල්වල සාමාජිකයින් 8,000ක් පමණ පීඩාවට පත්වෙලා තියෙනවා. ඒ අතර එක් මරණයක් වාර්තා වෙනවා. නිවාස පුර්ණ හානි වාර්තා වෙනවා. අර්ධ හානි 250ක් වාර්තා වෙනවා. මේ වනවිට බද්දේගම ප්‍රදේශයෙන් පහත්බිම් යටවෙලා තියෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල ඉන්න ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන්න උපදෙස් ලබාදීලා තියෙනවා. පොලීසිය සහ සහන කණ්ඩායම් ඒ කටයුතුවල නියැලී තිබෙනවා. මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන එකක් පවත්වාගෙන යනවා. එහි 271ක් සාමාජිකයින් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර සහ පිසූ ආහාර හා සියලු සහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එකතුව සිදුකරනවා."

ගංගා කිහිපයක් ආශ්‍රිතව හටගෙන ඇති ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේය.

"මේ වනවිට නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පවතින සැලකිය යුතු ඉහළ මට්ටමේ ගංවතුර තත්ත්වය අද දිනය තුළත් සුළු වශයෙන් වර්ධනයක් සිදුවන බව කිවයුතුයි. ගලබැම්ම උතුරා යෑමක් ආරම්භ වෙලා තියෙනවා. මෙසේ පිටවාන් දමන ජලය ගොඩගම, සුල්තානාගොඩ, පාලටුව, හිත්තැටිය සහ මාතර නගරයේ ඇතැම් ප්‍රදේශ දක්වා ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ගිංගඟ නාගොඩ, බෝපේපෝද්දල සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මේ වනවිට පවතින ගංවතුර තත්ත්වය අද දිනය තුළ ඒ විදියටම පැවතිය හැකියි. අත්තනගලුඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශ දැනට සුළු බලපෑම්වලට ලක්වෙලා තියෙනවා. අද දිනය තුළත් එම බලපෑම ඒ ආකාරයටම පවතිනවා. කළු ගඟ ද්‍රෝණියේ කුඩා ඔය උපද්‍රෝණියේ පවතින ගංවතුර තත්ත්වය සුළු වශයෙන් අඩුවෙමින් පවතිනවා."

ReeCha