මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලින්ට තීරණාත්මකම රාත්‍රිය අදයි.. අද සිදුවන විශේෂම දේ මෙන්න..
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද (29) පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසු ගැනීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි.
වසර 4 කට පසුව පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගොස්තු මස 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට ආසියානු ක්‍රිකට් කවුන්සිලය මාර්තු මස 19 වනදා නිල වශයෙන් නිවේදනය කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ රට තුළ උද්ගතවී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවුණි. මේ අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සැලසුම් කර පරිදි ජුනි මස 7 වනදා සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
කෙසේ වෙතත් මීට පෙර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව විමසිල්ලෙන් යුතුව බලාසිටින බවය. ඒ අනුව, සැලසුම් කර පරිදි ඔස්ට්‍රේලියානු කණ්ඩායම 20යි 20 තරග 3ක් එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරග දෙකක් සඳහා මෙරටට පැමිණීමට නියමිතය.
ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙරටට පැමිණීම තුළින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදයටද යම් සහනක් ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසීය.
ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙරටට පැමිණීමෙන් ඩොලර් මිලියන දෙක හමාරක ආදායමක් බලාපොරොත්තු වන බවත් ඉන් කොටසක් වියදම් ලෙස කපා හැරීමෙන් පසු ශුද්ධ ලාභය ලෙස රුපියල් මිලියන 100ක ආදායමක් අපේක්ෂා කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය.