මේ බැංකුවලින් ගනුදෙනුකරුවන්ට පණිවුඩයක්.. ජූලි 1 දා සිට ක්‍රෙඩිට් කාඩ් පොළිය ඉහළ යන ලකුණු
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු මඟින් සිය ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් වන පොලී අනුපාත ඉහළ දැමීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව දැනටමත් වාණිජ බැංකු කිහිපයක් සිය ගනුදෙනුකරුවන් වෙත මේ පිළිබඳව දැනුවත් කරමින් කෙටි පණිවුඩ යැවීම් සිදු කර ඇති බව සඳහන්.
ඒ ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වාර්ෂික පොලී අනුපාතය දැනට පවතින 26% ක ප්‍රතිශතයේ සිට 28% ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව සඳහන් කරමින් බව වාර්තා වේ.
කෙසේ වෙතත් වාර්තා වූ ආකාරයට වාණිජ බැංකු මෙම තීරණය ගැනීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මඟින් ඉකුත් මැයි 25 වැනි දින ගනු ලැබූ තීරණයකට අනුව එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟින් බව සඳහන්.
එමෙන්ම මෙම අනුපාත වැඩිවීම සිදුවන්නේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළ යමින් පවතින අවස්ථාවක වීම ද විශේෂ වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට 2025 වසර අවසන් වන විට රට තුළ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,166,186 ක් වූ අතර 2026 පළමු කාර්තුව අවසන් වන විට මෙම සංඛ්‍යාව කාඩ්පත් 2,215,853 දක්වා වර්ධනය වී ඇත.
කෙසේ වෙතත් නවතම දත්තවලින් පාරිභෝගික ණයෙහි සැලකිය යුතු වැඩිවීමක් ඉස්මතු කරන අතර 2025 දෙසැම්බර් 31 වන විට ක්‍රෙඩිට් කාඩ්පත්වල මුළු හිඟ ශේෂය රුපියල් මිලියන 189,706 ක් බව සඳහන්.
එමෙන්ම 2026 මාර්තු 31 වන විට මෙම අගය රුපියල් මිලියන 194,105 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පොලී අනුපාත ගැළපීම් තිබියදීත් ණය මත වැඩිවන යැපීමක් පිළිබිඹු කරන බව වාර්තා වේ.