දයාසිරිට අභියාචනාධිකරණයෙන් තීන්දුවක් - ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ලෙස පිළිගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි''
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තමන් පිළිගන්නා ලෙස දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීම බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය අද (28) ප්‍රතික්ෂේප කර තිබේ.
දයාසිරි ජයසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ නඩුව මගින්, තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස පිළිගන්නා ලෙසත්, දුමින්ද දිසානායක මහතා ලේකම් ධුරයේ කටයුතු කිරීම සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති ධුරය දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබුණි.
කෙසේ වෙතත්, එම ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි. එම නියෝගය ප්‍රතික්ෂේප කර තමන් ඉල්ලා සිටින සහන ලබාදෙන ලෙස ඉල්ලා දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබේ.
එම අභියාචනය අද විභාගයට ගත් අවස්ථාවේදී, නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති ධුරය දැරීම සහ දුමින්ද දිසානායක මහතා ලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝග නිකුත් කිරීමද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
අදාළ නඩුවේ මූලික විභාගය 2027 ජනවාරි 08 වැනිදා පැවැත්වීමට නියම කර තිබේ. මේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.
එම නිවේදනය පහතින්,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තමා පිළිගන්නා ලෙස දයාසිරි ජයසේකර කල ඉල්ලීම බස්නාහිර පලාත් බද සිවිල් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස තමා පිළිගන්නා ලෙසත්, දුමින්ද දිසානායක මහතා ලේකම් පදවිය දැරීම හා නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති පදවිය දැරීම වළක්වාලන අතුරු ඉන්ජාශන් තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පනවන ලද නඩුවේදීත් එකී සහනයක් ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී. මෙම නියෝගය නිශ්ප්‍රභා කොට තමා අයද සිටින සහනයන් ලබා දෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් බද සිවිල් අභියාචනා අධිකරණයේ පවරන ලද නඩුව අද දින විභාගයට ගන්නා ලද අතර එහිදී නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වය දැරීම වැළැක්වීම හා දුමින්ද දිසානායක ලේකම් ධූරයේ කටයුතු කිරීම වැලැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර මූලික නඩු විභාගය 2027 ජනවාරි මස අටවෙනි දිනට නියම කරන ලදී.