BYD වාහන ප්‍රශ්ණෙට මොකද වෙන්නේ?
අභියාචනාධිකරණය අද (24) රේගුවට නියම කළේ මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසයි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේ ජාතික ආර්ථිකයට බදු මුදල් රැස්කර දීම ඉතා වැදගත් වනවා සේම වාහනවල ගැණුම්කරුවන්ගේ මෙන්ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන්ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බවයි.
පෙත්සම්කර පාර්ශවයට විනිසුරුවරයා දැනුම් දුන්නේ මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත් ඒ සඳහා සහාය ලබාදෙන ලෙසයි.
ජෝන් කීල්ස් සීජී සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මේ වනවිට රඳවාගෙන සිටින වාහන සමාගම් ඇපකරයක් මත කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව තිබෙන බවයි.
තවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේ මෙම විමර්ශන සඳහා පෙත්සම්සකාර සමාගම සහාය ලබාදිය යුතු ය යන්නයි.
පෙත්සම්කාර සමාගම විසින් මෙරටට ගෙන්වා තිබෙන වාහන පරීක්ෂණ ස්කෑන් යන්ත්‍ර පිළිබඳ වාර්තාවක් ලබන සඳුදා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පවසා තිබේ.
කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ කියා සිටියේ රේගුව විසින් මෙම වාහන රඳවාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බවයි.
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සදහන් කළේ මෙම නඩුකරය සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳව ලබන 28 වනදා දැනුම් දෙන බවයි.