පිටකොටුවේදී සුදු වෙන්න අලේපන ගත්තද? ඔන්න බලාගෙන..
තොරතුරු රහිත අලේපන තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව, පිටකොටුව ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එම තොගය භාරයට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යාංශයෙන් ලැබුණු තොරතුරකට අනුව, ඊයේ (09) කොළඹ පිටකොටුව ප්‍රධාන වීදියේ පිහිටි ගබඩාවක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැටලීම සිදුකර ඇත.
මෙහිදී රුපියල් මිලියන 10කට ආසන්න වටිනාකමක් ඇති, විදේශ රටවලින් ආනයනය කළ ඇඟ ගල්වන ක්‍රීම් සහ ලෝෂන් තොගයක් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ.
අදාළ නිෂ්පාදනවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදකයා හෝ ආනයනකරු පිළිබඳ තොරතුරු වැනි නීතියෙන් අනිවාර්ය කර ඇති මූලික විස්තර කිසිවක් සඳහන් නොවීම මෙහි බරපතළ නීතිවිරෝධී තත්ත්වයක් බව අධිකාරිය පෙන්වා දෙයි.
මෙම භාණ්ඩ තොගය පාරිභෝගිකයන් වෙත පැමිණීමට පෙරම ගබඩාව තුළදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද සඳහන් වේ.
එමෙන්ම, වෙළෙඳ නාම 13කට අයත් අලේපන සාම්පල මේ වන විට ලබාගෙන ඇති අතර, ඒවා රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත්, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.