තවත් වෛරසයක් පැතිරෙයි - ලෝකයම අනතුරක - දැනටමත් පුද්ගලයන් 65 ක් මරුට
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයේ පැතිර යන නව ඉබෝලා (Ebola) වසංගත තත්ත්වයෙන් පුද්ගලයන් 65 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අප්‍රිකාවේ සෞඛ්‍ය ඒජන්සිය විසින් කොංගෝවේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ එබෝලා වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Africa CDC) සඳහන් කරන පරිදි, ප්‍රධාන වශයෙන් මොන්ග්වාලු (Mongwalu) සහ රවම්පාරා (Rwampara) යන ප්‍රදේශවලින් රෝගීන් 246ක් සහ මරණ 65ක් වාර්තා වී ඇත.
මියගිය පිරිස අතරින් සිව්දෙනෙකු රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කරන ලද රෝගීන් බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා තිබේ. එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ වසංගත මර්දන කටයුතු සහ දේශසීමා නිරීක්ෂණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොංගෝව, උගන්ඩාව, දකුණු සුඩානය සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් සමග විශේෂ සාකච්ඡාවක් කැඳවන බවයි.
ඉබෝලා යනු ශරීර තරල සමග සෘජුව සම්බන්ධ වීමෙන් බෝවන මාරාන්තික වෛරස් රෝගයක් වන අතර මෙය ශරීරය අභ්‍යන්තරයේ අධික රුධිර වහනයක් සහ ඉන්ද්‍රියයන් අක්‍රිය වීමට හේතු වේ. කොංගෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික මහජන ආයතනය සමග එක්ව අගනුවර වන කින්ෂාසා හි (INRB) ආයතනයේ සිදුකළ මූලික පරීක්ෂණවලදී, විශ්ලේෂණය කරන ලද සාම්පල 20කින් 13ක වෛරසය පවතින බව හඳුනාගෙන ඇත.
ඉටුරි පළාත් අගනුවර වන බුනියා (Bunia) වෙතින් ද සැක සහිත රෝගීන් වාර්තා වී ඇති අතර, ඒවායේ රසායනාගාර තහවුරු කිරීම් තවමත් ලැබී නොමැති බව සඳහන් වේ. 1976 වසරේදී වර්තමාන කොංගෝවෙන් ප්‍රථම වරට හඳුනාගත් ඉබෝලා වෛරසය, වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූවක් බව විශ්වාස කරයි.
උණ, මාංශ පේශි වේදනාව, තෙහෙට්ටුව, හිසරදය සහ උගුරේ අමාරුව මෙහි මුල් රෝග ලක්ෂණ වන අතර ඉබෝලා රෝගය සඳහා මෙතෙක් ස්ථිර සුවයක් සොයාගෙන නොමැත. පසුගිය වසර 50ක කාලය තුළ අප්‍රිකානු රටවල් කිහිපයක පුද්ගලයන් 50,000ක් පමණ මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇත. කොංගෝවේ දරුණුතම ඉබෝලා ව්‍යාප්තිය 2018 සහ 2020 අතර කාලයේදී වාර්තා වූ අතර, එහිදී පුද්ගලයන් 2,300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් විය. පසුගිය වසරේදී ද එරට පුද්ගලයන් 15 දෙනෙකු මියගිය අතර, එය කොංගෝවෙන් වාර්තා වූ 16 වැනි එබෝලා ව්‍යාප්තියයි.